April 25, 2024

කාසියේ වාසිය කැංගරුවන්ට! තරගය නවතම තත්ත්වය මෙන්න!

February 15, 2022

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රලියා සංචාරයේ තුන්වැනි විස්සයි 20 තරගය මේවන විට ආරම්භ වී තිබෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ඔස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් විසින්.

පළමු තරග දෙකේදීම කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දු යැවීමට ශ්‍රී ලංකාව ක්‍රියා කළ නමුත් අද තරගයේ දී ශ්‍රී ලංකාවට සිදු වූයේ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වගකීම් විරහිත හැසිරීම, තරග ආරම්භ වී වැඩි වේලාවක් ගත වන්නටත් පෙර නිරීක්ෂණය වූවා.

මෙම පුවත පළ කරන අවස්ථාව වන විට (පස්වරු 2.00 ) ශ්‍රී ලංකාව කඩුළු 02ක් දැවී ලකුණු 24ක් ලබා සිටිනවා.

නිමා වූයේ 04 වැනි පන්දු වාරය යි.

පළමු කඩුල්ල ලෙස ලකුණු 09ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලක දැවී ගිය අතර චරිත් අසලංක දැවී ගියේ ලකුණු 06කට යි.

මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින පැතුම් නිස්සංක ලකුණු 07ක් ද කුසල් මෙන්ඩිස් එක් ලකුණක් ද ලබා සිටිනවා.

මේ අතර ඔස්ට්‍රේලියාව බලා ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියන් ක්‍රීඩක වනිඳු හසරංග හට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූවා.

ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියේ තවත් තරග 03ක් ඉතිරිව තිබිය දී යි.

මේ අනුව හසරංග හට අද තරගය මෙන්ම මෙම තරගාවලියේ ඉදිරි තරග අහිමි වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට පීඩනයක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සතු ප්‍රබලතම තුරුම්පුව වන්නේ වනිඳු හසරංග යි.

පළමු තරගයේ දී කඩුළු 03ක් ලබා ගත් ඔහු දෙවැනි තරගයේ දී කඩුළු දෙකක් දවා ගත්තා.

එමෙන්ම මෙවර IPL වෙන්දේසියේ දී ඔහු ශ්‍රී ලංකා රුපියල් කෝටි 29කට ආසන්න මුදලකට අලෙවි වූවා.

වනිඳු හසරංග හට මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර කොවිඩ් වෛරසය පැතිර යන පසුබිමක යි.

මීට පෙර නුවන් තුෂාර, චාමික කරුණාරත්න යන අයට කොවිඩ් ආසාදනය වූ අතර ඔවුන් මේවන විට සුවය ලබා සිටිනවා.

ඉන් අනතුරුව කුසල් මෙන්ඩිස් හට කොවිඩ් ආසාදනය වූ අතර එම නිසා ඔහුට පළමු තරග දෙක අහිමි වී ගියා.

පළමු තරගයේ දී පන්දුවෙන් දස්කම් දැක්වූ බිනුර ප්‍රනාන්දු ද ආසාදිත බවට හඳුණාගැනීමත් සමග ඔහුට ද ඉදිරි තරග අහිමිව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් එකිනෙකා මේ ආකාරයෙන් ආසාදිත බවට හඳුණාගනිමින් සිටිය දී මෙම තරගාවලියට එක්ව සිටින අනෙකුත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහ ඔස්ට්‍රේලියා ක්‍රීඩකයින් යම් අවදානමක සිටින්නේ ද යන්න පිළිබඳ ඇත්තේ ප්‍රශ්ණාර්ථයක්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 February 2022 14:28