April 19, 2024

ශ්‍රී ලංකා ඉනිම අවසන්: තෙවැනි තරගයේ දැන් තත්ත්වය

February 15, 2022

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රලියා සංචාරයේ තුන්වැනි විස්සයි 20 තරගයේ ශ්‍රී ලංකා ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමා වූවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ඔස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් විසින්.

පළමු තරග දෙකේදීම කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දු යැවීමට ශ්‍රී ලංකාව ක්‍රියා කළ නමුත් අද තරගයේ දී ශ්‍රී ලංකාවට සිදු වූයේ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි.

ශ්‍රී ලංකා ඉනිම

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වගකීම් විරහිත හැසිරීම, තරග ආරම්භ වී වැඩි වේලාවක් ගත වන්නටත් පෙර නිරීක්ෂණය වූවා.

පළමු කඩුල්ල ලෙස ලකුණු 09ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලක දැවී ගිය අතර දෙවැනි කඩුල්ල ලෙස චරිත් අසලංක දැවී ගියේ ලකුණු 06කට යි.

කුසල් මෙන්ඩිස් හට ලබාගත හැකි වූයේ ලකුණු 04ක් පමණ යි.

පසුගිය තරග දෙකෙහිදීම සාර්ථක වූ පැතුම් නිස්සංක හට අද දිනයේ ලකුණු 16කට දැවී යාමට සිදු වූවා.

ළදරු අවදියේ දීම වැටී තිබූ ඉනිම යම් තරමකට හෝ ගොඩ නැගුවේ නායක දසුන් ශානක සහ දිනේෂ් චන්දිමාල් විසින්.

ඔවුන් දෙදෙනා ලකුණු 47ක සබඳතාවක් ගොඩනැගූ අතර එය ද ඉතා අසීරු වූ බව නිරීක්ෂණය වූවා.

ලකුණු 25කට චන්දිමාල් දැවී ගිය අතර චාමික කරුණාරත්න ලකුණු 08කට දැවී ගියා.

ඉනිම අවසන් වෙද්දී නොදැවී ක්‍රීඩා කරමින් සිටි දසුන් ශානක ලකුණු 39ක් ද, දුෂ්මන්ත චමීර ලකුණු 05කුත් ලබා සිටියා.

නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුළු 06ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණූ 121ක් පමණ යි.

ඒ අනුව ඔස්ට්‍රේලියා පිතිකරුවන්ට ලැබී ඇත්තේ ලකුණු 122ක පහසු ඉලක්කයක්.

ඔස්ට්‍රේලියා ඉනිම තවත් සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

හසරංගට කොවිඩ්

මේ අතර ඔස්ට්‍රේලියාව බලා ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියන් ක්‍රීඩක වනිඳු හසරංග හට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූවා.

ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියේ තවත් තරග 03ක් ඉතිරිව තිබිය දී යි.

මේ අනුව හසරංග හට අද තරගය මෙන්ම මෙම තරගාවලියේ ඉදිරි තරග අහිමි වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට පීඩනයක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සතු ප්‍රබලතම තුරුම්පුව වන්නේ වනිඳු හසරංග යි.

පළමු තරගයේ දී කඩුළු 03ක් ලබා ගත් ඔහු දෙවැනි තරගයේ දී කඩුළු දෙකක් දවා ගත්තා.

එමෙන්ම මෙවර IPL වෙන්දේසියේ දී ඔහු ශ්‍රී ලංකා රුපියල් කෝටි 29කට ආසන්න මුදලකට අලෙවි වූවා.

වනිඳු හසරංග හට මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර කොවිඩ් වෛරසය පැතිර යන පසුබිමක යි.

මීට පෙර නුවන් තුෂාර, චාමික කරුණාරත්න යන අයට කොවිඩ් ආසාදනය වූ අතර ඔවුන් මේවන විට සුවය ලබා සිටිනවා.

ඉන් අනතුරුව කුසල් මෙන්ඩිස් හට කොවිඩ් ආසාදනය වූ අතර එම නිසා ඔහුට පළමු තරග දෙක අහිමි වී ගියා.

පළමු තරගයේ දී පන්දුවෙන් දස්කම් දැක්වූ බිනුර ප්‍රනාන්දු ද ආසාදිත බවට හඳුණාගැනීමත් සමග ඔහුට ද ඉදිරි තරග අහිමිව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් එකිනෙකා මේ ආකාරයෙන් ආසාදිත බවට හඳුණාගනිමින් සිටිය දී මෙම තරගාවලියට එක්ව සිටින අනෙකුත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහ ඔස්ට්‍රේලියා ක්‍රීඩකයින් යම් අවදානමක සිටින්නේ ද යන්න පිළිබඳ ඇත්තේ ප්‍රශ්ණාර්ථයක්.



Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 February 2022 15:21