March 29, 2024

සිව්වැනි තරගයේ ජය පැරදුම විසඳුණු හැටි

February 18, 2022

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියා 20 විස්ස තරග සංචාරයේ සිව්වැනි තරගය මීට සුළු වේලාවකට පෙර අවසන් වූවා.

කාසියේ වාසිය ලබා ගත් ඔස්ට්‍රේලියා නායක ඒරන් ෆින්ච් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ අනුව ශ්‍රී ලංකා පිතිකරුවන්ට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට සිදු වූවා.

ශ්‍රී ලංකා ඉනිම

සුපුරුදු පරිදි ශ්‍රී ලංකා පිතිකරුවන් සිය වගකීම පැහැර හරින අයුරු ආරම්භයේ සිටම දක්නට ලැබුණේ පසුගිය තරගවලින් ඔවුන් කිසිදු පාඩමක් ඉගෙන නොගත් බව ඔප්පු කරමින්.

ශ්‍රී ලංකා පිතිකරුවන් එකිනෙකා දැවී ගියේ ඉතා අඩු ලකුණු ප්‍රමාණයන්ට යි.

සුපුරුදු පරිදි පිතිකරුවෙකු ලෙස වගකීම ඉටු කළ බව පෙනුනේ පැතුම් නිස්සංක පමණ යි.

ඔහු රැස් කළ ලකුණු ගණන 46ක්.

කුසල් මෙන්ඩිස් ලකුණු 27ක් සහ චරිත් අසලංක ලකුණු 22ක් රැස් කළා. 

ධනුෂ්ක ගුණතිලක ලබාගත් ලකුණු ගණන 17ක්. 

චාමික කරුණාරත්න නොදැවී ලකුණු 14 යි. 

අනෙක් එකදු පිතිකරුවෙකුට හෝ අංක දෙකකින් යුතු ලකුණු ප්‍රමාණයක් රැස් කර ගැනීමට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 139ක් පමණ යි. 

ඒ අනුව ඔස්ට්‍රේලියාවට ලකුණු 140ක පහසු ඉලක්කයක් ලැබී තිබුණා.

ඔස්ට්‍රේලියා ඉනිම

කෙසේ වෙතත් සුපුරුදු ලෙසම ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉතා දක්ෂ ලෙස පන්දු යැවීමෙහි නිරත වූවා.

ඔස්ට්‍රේලියා පළමු කඩුළු තුන දැවී ගියේ ලකුණු 49ක් ඇතුළත යි.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව වෙත ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලබා දුන් පීඩනයෙන් මිදීමට හැකි වූයේ ග්ලේන් මැක්ස්වෙල් සහ ජෝෂ් ඉංග්ලිස් වාර්තා කළ ලකුණු 71ක සබඳතාවත් සමග යි.

එම සබඳතාවයෙන් පසු මැක්ස්වෙල් සහ මාකස් ස්ටෝනිස් එක්ව ජයග්‍රාහී ලකුණු ක සබඳතාව ගොඩ නැගුවේ සිය කණ්ඩායමේ ජය තහවුරු කරමින්.

ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුළු 04ක් දැවී ලකුණු 143ක් ලබා ගනිමින් කඩුළු 06ක ජයක් වාර්තා කළේ තවත් පන්දු 11ක් ඉතිරිව තිබිය දී යි.

ග්ලේන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 48ක් රැස් කළ අතර ජෝෂ් ඉංග්ලිස් ලකුණූ 40ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ළහිරු කුමාර කඩුළු 02ක් ද මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර එක් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

මෙම තරග ජයත් සමගින් තරගාවලිය ජයගෙන සිටින ඔස්ට්‍රේලියාව 4-0 ලෙස ඉදිරියෙන් සිටිනවා.

Rate this item
(0 votes)