April 26, 2024

ඔස්ට්‍රේලියා ඉනිම අවසන්: තෙවැනි තරගය නිමා වූයේ මෙහෙමයි!

February 15, 2022

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රලියා සංචාරයේ තුන්වැනි විස්සයි 20 තරගය මීට සුළු මොහොතකට පෙර නිමා වූවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ඔස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් විසින්.

පළමු තරග දෙකේදීම කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දු යැවීමට ශ්‍රී ලංකාව ක්‍රියා කළ නමුත් අද තරගයේ දී ශ්‍රී ලංකාවට සිදු වූයේ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි.

ශ්‍රී ලංකා ඉනිම

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වගකීම් විරහිත හැසිරීම, තරග ආරම්භ වී වැඩි වේලාවක් ගත වන්නටත් පෙර නිරීක්ෂණය වූවා.

පළමු කඩුල්ල ලෙස ලකුණු 09ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලක දැවී ගිය අතර දෙවැනි කඩුල්ල ලෙස චරිත් අසලංක දැවී ගියේ ලකුණු 06කට යි.

කුසල් මෙන්ඩිස් හට ලබාගත හැකි වූයේ ලකුණු 04ක් පමණ යි.

පසුගිය තරග දෙකෙහිදීම සාර්ථක වූ පැතුම් නිස්සංක හට අද දිනයේ ලකුණු 16කට දැවී යාමට සිදු වූවා.

ළදරු අවදියේ දීම වැටී තිබූ ඉනිම යම් තරමකට හෝ ගොඩ නැගුවේ නායක දසුන් ශානක සහ දිනේෂ් චන්දිමාල් විසින්.

ඔවුන් දෙදෙනා ලකුණු 47ක සබඳතාවක් ගොඩනැගූ අතර එය ද ඉතා අසීරු වූ බව නිරීක්ෂණය වූවා.

ලකුණු 25කට චන්දිමාල් දැවී ගිය අතර චාමික කරුණාරත්න ලකුණු 08කට දැවී ගියා.

ඉනිම අවසන් වෙද්දී නොදැවී ක්‍රීඩා කරමින් සිටි දසුන් ශානක ලකුණු 39ක් ද, දුෂ්මන්ත චමීර ලකුණු 05කුත් ලබා සිටියා.

නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුළු 06ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණූ 121ක් පමණ යි.

ඒ අනුව ඔස්ට්‍රේලියා පිතිකරුවන්ට ලැබී තිබුණේ ලකුණු 122ක පහසු ඉලක්කයක්.

ඔස්ට්‍රේලියා ඉනිම

කෙසේ වෙතත් සිය ඉලක්කය වෙත යාම ඔස්ට්‍රේලියා පිතිකරුවන් හට සිතූ තරම් පහසු වූයේ නැහැ.

සුපුරුදු පරිදි ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉතා හොඳින් සිය වගකීම ඉටු කරන අයුරු දක්නට ලැබුණා.

ඔස්ට්‍රේලියා පළමු කඩුළු දෙක දැවී ගියේ ලකුණු 26ක් තුළ යි.

ඉනිමෙහි පළමු පන්දුවෙන්ම පළමු කඩුල්ල දවාගන්නට මහීෂ් තීක්ෂණ සමත් වූවා.

අසලංකගේ අතට උඩපන්දුවක් ලබා දී එලෙස ලකුණූ 0කට දැවී ගියේ බෙන් මැක්ඩෙමෝට්.

ඇස්ටන් ඒගාර් දෙවැනි කඩුල්ල ලෙස, කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී ගිය අතර ලකුණු 13ක් ලබා සිටි ඔහු ද දවා ගත්තේ මහීෂ් තීක්ෂණ විසින්.

කෙසේ වෙතත් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක සබඳතාවක් ගොඩ නැගීමට ග්ලේන් මැක්ස්වෙල් සහ නායක ඒරන් ෆින්ච් සමත් වුණා.

එමෙන්ම පන්දු රැකීමේ අංශයෙන් ශ්‍රී ලංකාව දුර්වලතා කිහිපයක්ම පෙන්වූවා.

මැක්ස්වෙල් සහ ෆින්ච් අතර සබඳතාව බිඳී ගියේ ලකුණූ 39ක් ලබා සිටි මැක්ස්වෙල් දැවී යාමත් සමග යි. 

තුන්වැනි කඩුල්ල ද එලෙස දවාගත්තේ තීක්ෂණ විසින්ම වීම විශේෂත්වයක්.

කුසල් මෙන්ඩිස් අතට උඩපන්දුවක් ලබා දී ඔහු දැවී ගියා.

ෆින්ච්ගේ කඩුල්ල දවාගත්තේ ජෙෆ්රි වැන්ඩසේ විසින්. 

චරිත් අසලංකගේ අතට උඩපන්දුවක් ලබා දී ඔහු දැවී යන විට ලකුණු 35ක් රැස් කරගෙන සිටියා.

සිය කණ්ඩායම ජයග්‍රහණය කරා යොමු කිරීමට පිටිය මැද එක් වූයේ ජෝෂ් ඉංග්ලිස් සහ මාකස් ස්ටෝනිස් දෙදෙනා යි. 

ලකුණු 22ක නොදැවුණු සබඳතාවක් සමගින් ඔවුන් ජයග්‍රහණයේ ඉලක්කය පසුකළේ තවත් පන්දු 19ක් ඉතිරිව තිබියදි යි. 

ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 124ක් රැස් කළා.

ඒ අනුව ඔවුන් තරගය ජයගත්තේ කඩුළු 06කින්.

පන්දු 08ක් තුළ ස්ටෝනිස් නොදැවී ලකුණූ 12ක් ලබාගත් අතර ඉංග්ලිස් නොදැවී ලකුණූ 21ක් ලබා සිටියා.

මෙම තරග ජයත් සමගින් තවත් තරග 02ක් ඉතිරිව තිබිය දී මෙම තරගාවලියෙහි ජය තහවුරු කරගන්නට ඔස්ට්‍රේලියාව සමත් වූවා.

ගෙවුනු තරග තුනේදීම ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණිය කැපීපෙනෙන දක්ෂතා දැක්වූ අතර පිතිකරන අංශයේ දුර්වලතා ද කැපී පෙනුනා.

පිතිකරුවෙකු ලෙස සාර්ථකත්වයක් පෙන්නුම් කළේ පැතුම් නිස්සංක පමණ යි. 

මෙම තරගාවලියේ මීලඟ තරගය 18 වැනි දා පස්වරු 1.40ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම තුළ කොවිඩ්

මේ අතර ඔස්ට්‍රේලියාව බලා ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියන් ක්‍රීඩක වනිඳු හසරංග හට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූවා.

මේ අනුව හසරංග හට අද තරගය අහිමි වූ අතර මෙම තරගාවලියේ ඉදිරි තරග සඳහා ද ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකිවනු ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියාවට පීඩනයක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සතු ප්‍රබලතම තුරුම්පුව වූයේ වනිඳු හසරංග යි.

පළමු තරගයේ දී කඩුළු 03ක් ලබා ගත් ඔහු දෙවැනි තරගයේ දී කඩුළු දෙකක් දවා ගත්තා.

එමෙන්ම මෙවර IPL වෙන්දේසියේ දී ඔහු ශ්‍රී ලංකා රුපියල් කෝටි 29කට ආසන්න මුදලකට අලෙවි වූවා.

වනිඳු හසරංග හට මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර කොවිඩ් වෛරසය පැතිර යන පසුබිමක යි.

මීට පෙර නුවන් තුෂාර, චාමික කරුණාරත්න යන අයට කොවිඩ් ආසාදනය වූ අතර ඔවුන් මේවන විට සුවය ලබා සිටිනවා.

ඉන් අනතුරුව කුසල් මෙන්ඩිස් හට කොවිඩ් ආසාදනය වූ අතර එම නිසා ඔහුට පළමු තරග දෙක අහිමි වී ගියා.

පළමු තරගයේ දී පන්දුවෙන් දස්කම් දැක්වූ බිනුර ප්‍රනාන්දු ද ආසාදිත බවට හඳුණාගැනීමත් සමග ඔහුට ද ඉදිරි තරග අහිමිව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් එකිනෙකා මේ ආකාරයෙන් ආසාදිත බවට හඳුණාගනිමින් සිටිය දී මෙම තරගාවලියට එක්ව සිටින අනෙකුත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහ ඔස්ට්‍රේලියා ක්‍රීඩකයින් යම් අවදානමක සිටින්නේ ද යන්න පිළිබඳ ඇත්තේ ප්‍රශ්ණාර්ථයක්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 February 2022 17:11