April 26, 2024

ශ්‍රී ලංකාවට දඩ ගසා නිස්සංකට අවවාද කළ සැබෑ හේතුව (VIDEO)

February 15, 2022

ලංකාවට දඩ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ මුදලක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියා තරග සංචාරයට අදාළව පැවැති දෙවැනි පන්දුවාර 20 තරගයේ දී නියමිත කාල සීමාව තුළ නියමිත පන්දුවාර ප්‍රමාණය යැවීමට අපොහොසත් වීම හේතුවෙන්.

පෙරේදා (13) දින මෙම තරගය පැවැත්වුණේ සිඩ්නි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පනවා ඇත්තේ තරග ගාස්තුවෙන් 20% ක දඩ මුදලක්.

නිස්සංකටත් ගැටළුවක්

මේ අතර පැවැත්වුණු තරග දෙකෙහිම ශ්‍රී ලංකා පිතිකරන තරුව බවට පත් වූ යොවුන් ක්‍රීඩක පැතුම් නිස්සංකට අවවාද කිරීමට තරග තීරකවරයා කටයුතු කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් අතරතුර අසභ්‍ය වචනයක් භාවිත කළ බව පවසමින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

මෙම වරද හේතුවෙන් ඔහුගේ වර්ගීකරණයට අදාළ අසාදු ලකුණක් ද පැතුම් නිස්සංක වෙත එකතු කිරීමට යි තරග තීරකවරයා වැඩිදුරටත් පියවර ගෙන ඇත්තේ.

පෙරේදා පැවැති දෙවැනි තරගයේ අවසාන භාගය ඉතා තියුණු වූ අතර උද්වේගකර එම අවස්ථාවේ දී පැතුම් නිස්සංක එල්ල කිරීමට උත්සහ කළ පහරක් පිත්තේ නොවැදී යාමෙන් තමා බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොලැබුණු නිසා නිස්සංකගේ මුවින් ඉබේටම වාගේ පිට වූයේ ඉංග්‍රීසි භාෂාවෙහි එන ප්‍රකට අසංවර වචනයක්.

මේ හේතුවෙනුයි නිස්සංක සම්බන්දයෙන් ඉහත පියවර ගෙන තිබෙන්නේ.

එම තරගයේ දී පැතුම් නිස්සංක ලකුණු 73ක් වාර්තා කළ අතර ඔහු ඒ සඳහා වැය කර තිබුණේ පන්දු 53ක් පමණ යි.

හයේ පහර දෙකක් සහ හතරේ පහර හතක් ඔහු එල්ල කළා.

ආන්දෝලනාත්මක දෙවැනි තරගය

තරග 05කින් යුතු තරගාවලියේ දෙවැනි තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා පිතිකරුවන්, නියමිත පන්දුවාර 20 අවසානයේ දී ලකුණු 164ක් ලබා ගත්තේ කඩුළු 06ක් දැවී යාමෙන් පසුවයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුළු 08ක් දැවී එම ලකුණු ප්‍රමාණය සම කළා.

ඒ අනුව තරගයේ ජය තීරණය කිරීම සඳහා සුපිරි පන්දුවාරයක් යැවුණු අතර ඉන් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියා පන්දු යවන්නෙකු විසින් තරගය අතරතුර යැවූ පන්දුවක්, වයිඩ් පන්දුවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට විනිසුරුවරුන් කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ දැඩි කතාබහක් හටගෙන තිබෙනවා.

එය වයිඩ් පන්දුවක් බවට ප්‍රකාශයට පත් කළේ නම් සුපිරි පන්දුවාරයකට නොගොස් තරගයේ ජය ශ්‍රී ලංකාව සතු වනවා.

මේ අතර මෙම තරගාවලියේ ජය පිළිබඳ ශ්‍රී ලංකාවට තවදුරටත් බලාපොරොත්තු තැබිය හැකිදැයි තීරණයවන තුන්වැනි තරගය අද (15) දින පැවැත්වීමට නියමිත යි.

කැන්බරා නුවර දී පැවැත්වෙන තරගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.40ට යි.

දෙවැනි තරගයේ විශේෂ අවස්ථා පහතින්...

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 February 2022 10:10