April 25, 2024

අවසන් පන්දුවේදී ලකුණු සම වෙයි! තියුණු තරගයේ ජය සුපිරි ඕවරයකින් විසඳෙයි!

February 13, 2022

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය මීට සුළු මොහොකකට පෙර අවසන් වූවා.

පළමු තරගයේ දී මෙන්ම කාසියේ වාසිය දිනා ගත්තේ ශ්‍රී ලංකා නායක දසුන් ශානක යි.

ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ ඔහු ඔස්ට්‍රේලියා නායක ඒරන් ෆින්ච්ට පන්දුවට පහර දීමට ආරාධනා කළා.

ඔස්ට්‍රේලියා ඉනිම

ඔස්ට්‍රේලියා පළමු කඩුල්ල ලෙස දැවී ගියේ පසුගිය තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවට ප්‍රබල පීඩනයක් එල්ල කළ බෙන් මැක්ඩෙමෝට්.

නුවන් තුෂාර යැවූ පන්දුවකට ඔහු එල්ල කළ පහරක් මනරම් උඩපන්දුවක් ලෙසින් රැක ගත්තේ වනිඳු හසරංග විසින්.

ඔහු දැවීගියේ ලකුණු 18ක් ලබා සිටිය දී යි.

නායක ඒරන් ෆින්ච් දැවී ගියේ  ලකුණු 25කට යි.

පෙරේදා මෙන්ම අද දිනයේ දී ද ෆින්ච්ගේ කඩුල්ල දවා ගත්තේ වනිඳු හසරංග විසින්. 

කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් විසින් සිදු කළ ස්ටම්ප් කිරීමකින් ඔහු දැවී ගියා.

තෙවැනි කඩුල්ල ලෙස ග්ලේන් මැක්ස්වෙල් දැවී ගියේ මහීෂ් තීක්ෂණගේ පන්දුවකට යි.

මැක්ස්වෙල්ගේ පිත්තෙහි ගෑවී ගිය පන්දුව චන්දිමාල් විසින් රැකගැනීමෙන් ඔහු දැවී ගියා.

සිය පළමු ජාත්‍යන්තර විස්සයි 20 අර්ධ ශතකය අභියස සිටිය දී ජෝෂ් ඉංග්ලිස් දැවී ගියේ ලකුණු 48ක් ලබා සිටිය දී යි.

වනිඳු හසරංග විසින් යැවූ පන්දුවකට ඉංග්ලිස් එල්ල කළ පහරක් මනරම් උඩපන්දුවක් ලෙස නායක දසුන් ශානක විසින් රැකගත්තා.

මුලු ලකුණු ගණන 145ක් බවට පත්වෙද්දී දුෂ්මන්ත චමීර පිට පිට යැවූ පන්දු දෙකක දී කඩුළු 02ක් ලබා ගත්තා.

ලකුණු 14ක් ලබා සිටි ස්ටීව් ස්මිත් සහ ලකුණු 19ක් ලබා සිටි මාකස් ස්ටෝනිස් එලෙස දැවී ගියා.

පිටියේ රැඳී සිටි පිතිකරුවන් දෙදෙනාම එලෙස දැවී යද්දී නවතම පිතිකරුවන් දෙදෙනෙකු ලෙස පැමිණි මැතිව් වේඩ් සහ පැට් කමින්ස් එක්ව ලකුණූ 19ක සබඳතාවක් ගොඩ නැගුවා.

නියමිත පන්දුවාර 20 අවසන්වන විට කඩුළු 06කට ඔස්ට්‍රේලියා කණ්ඩායමේ මුලු ලකුණු ගණන 164කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූවා.

පැට් කමින්ස් නොදැවී ලකුණු 6ක් ද මැතිව් වේඩ් නොදැවී ලකුණු 13ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර කඩුළු දෙක බැගින් බිඳහෙලු අතර නුවන් තුෂාර සහ මහීෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිම

තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු ඉලක්කය ලකුණු 165ක්.

කෙසේ වෙතත් මුල් තරගයේ දී මෙන්ම ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් සිය වගකීම නිවැරදිව හඳුණාගත් බවක් පෙනෙන්නට වූයේ නැහැ.

ශ්‍රී ලංකා පළමු කඩුළු තුන දැවී ගියේ ලකුණු 25ක් ඇතුළත යි.

ඉනිමෙහි පළමු පන්දුවාරයේ දීම පළමු කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලක ලකුණු නොලබාම දැවී ගියා. 

අවිශ්ක ප්‍රනාන්දු හට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 05ක් පමණ යි. 

චරිත් අසලංකට ද කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

කෙසේ වෙතත් දිනේෂ් චන්දිමාල් සහ පැතුම් නිස්සංක එක්ව ලකුණූ 42ක සබඳතාවක් ගොඩ නැගූ අතර එය බිඳී ගියේ චන්දිමාල් ලකුණූ 19කට දැවී යාමත් සමග යි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිම වෙත යළි නව පණක් දෙන්නට නායක දසුන් ශානක සමත් වුණා.

ශානකත් නිස්සංකත් එක්ව ගොඩනැගූ ලකුණු සබඳතාව 48ක්.

දැවැන්ත පහරවල්වලට යමින් ලකුණු රැස් කළ ශානක දුවද්දී දැවී යාමකට හසු වූයේ ඉතා අවාසනාවන්ත ලෙසින්.

පන්දු 19කට ලකුණු 34ක් රැස් කළ ඔහු හයේ පහර 03ක් සහ හතරේ පහර 02ක් එල්ල කළා.

ශානකගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි චාමික කරුණාරත්න තමන් මුහුණ දුන් දෙවැනි පන්දුවෙන්ම දැවී ගියේ අනවශ්‍ය පහරක් වෙත යමින්.

ඔහුට ද කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වූවා.

තරගය ජයග්‍රහණය කරා රැගෙන යාමට ආරම්භයේ සිටම අරගලයක නිරත වූ පැතුම් නිස්සංක සමගින් මීලඟට එක් වූයේ වනිඳු හසරංග යි.

වැටී තිබූ ඉනිම යළි ගොඩ ගැනීමට නිස්සංකත් හසරංගත් දැඩි වෙහෙසක් ගත්තා.

කෙසේ වෙතත් පන්දු 09කට ලකුණු 13ක් ලබා සිටි වනිඳු හසරංග දැවී ගියේ තරගයේ අවසාන පන්දුවාරය තුළ ලකුණු 19ක ඉලක්කයක් ශ්‍රී ලංකාව වෙත ලබා දෙමින්.

ත්‍රාසජනක අවසන් ඕවරය

අවසන් පන්දුවාරය වයිඩ් පන්දුවකින් ආරම්භ කළේ මාකස් ස්ටෝනිස් විසින්.

ඊළඟ පන්දුවට හතරේ පහරක් එල්ල කිරීමට නිස්සංක සමත් වුණා.

දෙවැනි පන්දුවට නිස්සංක ලකුණු දෙකක් ලබාගත් අතර තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව හට අවසන් පන්දු 04 තුළ ලකුණූ 12ක් ලබා ගත යුතු වූවා.

එහෙත් අවසන් පන්දුවාරයේ තුන්වෙනි පන්දුවට හයේ පහරක් එල්ල කිරීමට පැතුම් නිස්සංක ගත් උත්සාහය සාර්ථක වූයේ නැහැ.

නිස්සංකගේ එම පහර උඩපන්දුවක් ලෙසින් රැකගත්තේ පැට් කමින්ස් විසින්.

ලකුණු 73කට දැවී ගිය ඔහු ඒ සඳහා වැය කර තිබුණේ පන්දු 53ක් පමණ යි.

හයේ පහර දෙකක් සහ හතරේ පහර හතක් ඔහු එල්ල කළා.

සිව්වැනි පන්දුවට මුහුණ දුන්නේ පිතිකරණය එතරම් හුරු නොවූ මහීෂ් තීක්ෂණ යි.

ඔහු එම පන්දුවේ දී දැවැන්ත හයේ පහරක් එල්ල කළේ සැවොම පුදුමයට පත් කරවමින්.

කෙසේ වෙතත් පස්වැනි පන්දුවට පහරක් එල්ල කිරීමට නොහැකි වූවත් එක් ලකුණක් කරා පැති මාරු වීමට තීක්ෂණ සහ චමීර පියවර ගත්තා.

අවසන් පන්දුවේ දී ශ්‍රී ලංකාවට ලැබී තිබුණේ ලකුණු 06ක ඉලක්කයක්.

එයට මුහුණ දුන්නේ දුෂ්මන්ත චමීර යි.

චමීර එල්ල කළ පහර හතරේ පහරක් බවට පත් වූයේ ක්‍රීඩාංගණයේ රැඳී සිටි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරවමින්.

එම ලකුණු 04ත් සමග ලකුණු ප්‍රමාණය සම වූයේ තරගයේ ජය පරාජය කිරීමේ වගකීම සුපිරි පන්දුවාරයක් (සුපර් ඕවරයක්) වෙත භාර දෙමින්.

සුපර් ඕවරය

සුපිරි පන්දුවාරයට මුහුණ දීමට ශ්‍රී ලංකාව වෙනුවෙන් පිටියට පිවිසුණේ නායක දසුන් ශානක සහ සහ දිනේෂ් චන්දිමාල් යන දෙදෙනා යි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සුපිරි පන්දුවාරය යවන්නට පිටියට පිවිසුණේ ජෝෂ් හේසල්වූඩ්.

පළමු පන්දුවට කිසිදු ලකුණක් ලබා ගැනීමට එයට මුහුණ දුන් ශානකට හැකි වූයේ නැහැ.

දෙවැනි පන්දුවට ද එල්ල කිරීමට ගිය පහර ශානක අතින් ගිලිහී ගියේ ශ්‍රී ලංකාව පීඩනයට පත් කරවමින්.

තුන්වැනි පන්දුවට ද කිසිදු පහරක් එල්ල කිරීමට නොහැකි වූවත් ලකුණු ලබා ගැනීම සඳහා පැති මාරු වීමට ශානක සහ චන්දිමාල් කටයුතු කළා.

ලකුණු දෙකක් ලබා ගැනීමට ඔවුන් දෙදෙනා කළ උත්සාහයේ දී චන්දිමාල් දුවද්දී දැවී යාමකට හසු වූයේ සුපිරි පන්දුවාරයේ තත්ත්වය එක් කඩුල්ලකට එක් ලකුණක් බවට පත් කරවමින්.

මීලඟට පිටියට පිවිසුණේ පැතුම් නිස්සංක යි.

හතරවැනි පන්දුවට මුහුණ දුන් ශානක එක් ලකුණක් ලබා ගත්තේ පස්වැනි පන්දුවට මුහුණ දීමේ අවස්ථාන නිස්සංකට ලබා දෙමින්.

පස්වැනි පන්දුවට පහරක් එල්ල කළ නිස්සංක ලකුණූ දෙකක් ලබා ගත්තා.

සුපිරි පන්දුවාරයේ අවසන් පන්දුවට ද මුහුණ දුන්නේ පැතුම් නිස්සංක යි.

කෙසේ වෙතත් එයට නිස්සංකට ලබා ගැනීමට හැකි වූයේ එක් ලකුණක් පමණ යි.

සුපිරි පන්දුවාරය ශ්‍රී ලංකාව නිමා කළේ ලකුණු 05ක් පමණක් ලබා ගනිමින්.

ජය - පරාජය

ඒ අනුව පන්දු 06ක් තුළ ඔස්ට්‍රේලියාවට ලැබුණේ ලකුණූ 06ක පහසු ඉලක්කයක්.

ඒ සඳහා පන්දු යැවීමට ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග තෝරාගත් අතර, ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පිටියට පිවිසුණේ ග්ලේන් මැක්ස්වෙල් සහ මාකස් ස්ටෝනිස් යන දෙදෙනා යි.

හසරංග යැවූ පළමු පන්දුවට මැක්ස්වෙල් එක් ලකුණක් ලබා ගත්තා.

දෙවැනි පන්දුවට මුහුණ ස්ටෝනිස් පන්දුව හතරේ සීමාවට ස්ථානගත කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ දමමින්.

සුපිරි පන්දුවාරයේ තුන්වැනි පන්දුවට ද ස්ටෝනිස් වෙහෙසකින් තොරව පහරක් එල්ල කරමින් එක් ලකුණක් ලබා ගත්තේ තියුණු තරගයක නිමාව සනිටුහන් කරමින්.

ඒ අනුව සුපිරි පන්දුවාරය ජය ගනිමින් මෙම තරගාවලියේ දෙවැනි තරගයේ ජය ද වාර්තා කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වූවා.

කෙසේ වෙතත් නවක ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ලෙස ප්‍රබල ඔස්ට්‍රේලියාවට ශ්‍රී ලංකාව ලබා දුන් පීඩනය විස්තර විචාරකයින්ගේ ද පැසසුමට ලක් වුණා.

මේ අතර මෙම තරගය ජය ගැනීමත් සමග 2-0ක් ලෙසින්, තරග 05කින් යුතු තරගාවලියේ තම ස්ථානය තහවුරු කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

තරගාවලියේ තෙවැනි තරගය අනිද්දා (15) දින කැන්බරා නුවර දී ආරම්භ වීමට නියමිත යි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 13 February 2022 19:57