April 27, 2024

වනිඳු සහ චමීර IPL යන්න අවසර ගෙන නැහැ!

පසුගියදා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබූ වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ට සිය බලාපොරොත්තු අහිමි වෙන තත්ත්වයක් ඇතිව තිබෙනවා.

වනිඳු සහ දුෂ්මන්ත එම තරඟාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර ලබාගෙන නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ප්‍රධාන පෙළේ ක්‍රිකට් වෙබ් අඩවියකට පවසා තිබෙනවා. 

එම වෙබ් අඩවිය වෙත ලේකම්වරයා පවසා තිබුණේ ඔවුන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා තරඟ කිරීම සම්බන්ධයෙන් තමන් නොදන්නා බවයි. එමෙන්ම මෙම ක්‍රීඩකයන්ව තෝරා ගැනීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ දැනුවත් වීමක් නොමැති බවයි. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ තරඟාවලිය සඳහා සහභාගී වීමට මෙම ක්‍රීඩකයන් දෙදෙනාම තවමත් අවසර ගෙන නැති බවයි.

ක්‍රීඩකයන් දෙදෙනාම ක්‍රිකට් ආයතනය වෙත තරඟාවලියට සහභාගී වීම සඳහා විරෝධතා නොමැති බවට සහතික කරගත යුතුව ඇති බැවින් තවමත් මෙම ක්‍රීඩකයන් දෙදෙනා ගැන තීරණයක් ගෙන නොමැති බවද ලේකම්වරයා පවසා තිබුණා.

මෙම වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භ වීමට පෙර දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග එම තරඟාවලියේ වෙන්දේසි වටය සඳහා නම් ඉදිරිපත් කර තිබුණත් ඔවුන්ව කිසිදු කණ්ඩායමක් ලබා ගත්තේ නැහැ. 

නමුත් කොරෝනා වසංගතය නිසා තරඟාවලිය අත්හැර දමා නැවත ආරම්භ කිරීමට කටයුතු කරන අවස්ථාවේ ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය අඩු වීම නිසා රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම විසින් මෙම ක්‍රීඩකයන් දෙදෙනාවම ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 23 August 2021 09:03