May 04, 2024

වැටුණු ඉනිම චාමික ගොඩගනියි - ඉන්දියාවට ලංකාවෙන් අභියෝගයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු එක් දින තරගයේ ශ්‍රී ලංකා ඉනිම මීට සුළු මොහොතකට පෙර අවසන් වූවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි.

නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ශ්‍රී ලංකා පිතිකරුවන් ලබා ගත් ලකුණු ගණන 262ක්.

පසුගිය කාලයේ පැවැති තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු සමග සසඳන විට මෙය සාපේක්ෂව ශක්තිමත් ලකුණු ගණනක් ලෙසට යි විස්තර විචාරකයන් හැඳින්වූයේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු 09න් 08ක්ම දැවී ගියේ උඩ පන්දු ලබා දීමෙන්.

ප්‍රථම කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 32කට දැවී ගියා.

සිය ප්‍රථම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට සහභාගී වූ භානුක රාජපක්ෂ වේගවත් ලකුණු රැස්කිරීමක් ආරම්භ කළත් ඔහුට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 24ක් පමණයි.

මිනෝද් භානුක ද ලකුණු 27ක් රැස් කරගෙන සිටියදී දැවී ගියා.

උපනායක ධනංජය ද සිල්වා ලකුණු 14කටත්, චරිත් අසලංක ලකුණු 28කටත්, නායක දසුන් ශානක ලකුණු 39කටත් සීමා කිරීමට ඉන්දියානු පන්දු යවන්නන් සමත් වූවා.

අසීරු අවස්ථාවක ඉනිම ගොඩ ගනීවි යැයි බොහෝ දෙනා විශ්වාස කළ වනිඳු හසරංග සහ ඉසුරු උදාන යන දෙදෙනාටම ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 08 බැගින් පමණ යි.

සියළු පිතිකරුවන් ඉතා අඩු ලකුණු ගණනකට එලෙස දැවී යද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුලු ලකුණු ගණන 200 බවට පත් කරගත්තේ ද ඉතාමත් අසීරුවෙන්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 200 සීමාවේ දී නතර වේ යැයි තරගයේ විස්තර විචාරකයින් පවා බලාපොරොත්තු වූ පසුබිමක චාමික කරුණාරත්න සහ දුෂ්මන්ත චමීර එක්ව ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට නව බලාපොරොත්තුවක් ලබා දුන්නා.

අවසන් පන්දුවාර කිහිපයේ දී වේගවත් ලකුණු රැස් කිරීමක යෙදුණු චාමිකගේ පිතිහරඹය ඉන් කැපී පෙණුනා.

හයේ පහරවල් 02ක් සහ එක් හතරේ පහරක් සමගින් පන්දු 35ක දී ඔහු රැස් කළ ලකුණු ගණන 43ක්.

දුෂ්මන්ත චමීර ද පන්දු 07කට පමණක් මුහුණ දෙමින් ලකුණු 13ක් ලබා ගත්තේ හයේ පහර සහ හතරේ පහර එක බැගින් එල්ල කරමින්.

තරගයේ අවසන් පන්දුවේ දී චාමික කරුණාරත්න දුවද්දී දැවීයාමකට හසු වුණු අතර ඔහු ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ද වූවා.

තරගයේ ජයග්‍රහණයට ඉන්දියානු කණ්ඩායමට ලැබී ඇති ඉලක්කය ලකුණු 263ක්.

ඉන්දියානු පිළිතුරු ඉනිම තවත් සුළු මොහොතකින් ඇරඹීමට නියමිත යි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 18 July 2021 19:28