May 04, 2024

පළමු එක්දින ගැටුම අවසන් - සියළු තොරතුරු මෙන්න

ප්‍රතිඵලය කෙටියෙන්

එංගලන්ත - ශ්‍රී ලංකා පළමු එක්දින තරගය මීට සුළු මොහොතකට පෙර අවසන් වූවා.

ඒ, මේවන විට හුරුපුරුදු වී ඇති පරාජයේ අමිහිර යළිත් වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් වෙත උරුම කර දෙමින්.

කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව එංගලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් කඩුළු සියල්ලම දැවී රැස් කළේ ලකුණු 185ක් පමණ යි.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 186ක පහසු ඉලක්කයක් ප්‍රබල එංගලන්ත කණ්ඩායමට ලැබුණා.

එංගලන්ත පිතිකරුවන් කඩුළු 05ක් දැවී ලකුණු 189ක් ලබා ගනිමින් තරගය පහසුවෙන් ජයගත්තා.

කඩුළු 05ක ජයක් වාර්තා කළ එංගලන්ත කණ්ඩායමට ඒ සඳහා වැය වූයේ පන්දුවාර 35ක් පමණ යි.

වෙනත් ආකාරයකින් පැවසුවහොත් තවත් පන්දු 91ක් ඉතිරිව තිබියදියි එංගලන්තය තරගයේ ජය වාර්තා කළේ.

මෙම තරග ජයත් සමග තරග 03කින් යුතු මෙම තරගාවලිය 1-0ක් ලෙස එංගලන්තය පෙරමුණ ගෙන සිටිනවා.

එංගලන්ත පිළිතුරු ඉනිම

පසුගිය තරගවලදී මෙන්ම අද තරගයේ දීත් දුෂ්මන්ත චමීර සිය වගකීම ඉටු කරමින් කඩුළු 03ක් බිඳ හෙලීමට සමත් වුණා.

බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න අතරේ කඩුළු එක බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිමේ දී ජොනී බෙයස්ටෝ ලකුණු 43කට දැවී ගිය අතර මොයින් අලී දැවී ගියේ ලකුණු 28කට යි.

රෝ රූට් නොදැවී ලබා ගත් ලකුණු 79 විශේෂයෙන් කැපී පෙණුනා.

අනෙකුත් එංගලන්ත පිතිකරුවන් හට ලකුණු අතරට ඒමට හැකියාව ලැබුණේ නැහැ.

ශ්‍රී ලංකාව දුන් දුර්වල ඉලක්කය

මුලු ලකුණු ගණන 23ක්ව තිබිය දී ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක දැවී ගියේ ලකුණු 05කට යි.

තම පළමු එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ චරිත් අසලංකට එකදු ලකුණක් හෝ ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

දසුන් ශානක ද ලකුණු එකක් පමණක් ලබා සිටිය දී දැවී ගියේ මුලු ලකුණු ගනන 46ක්ව තිබියදියි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට තරමක හෝ බලාපොරොත්තුවක් ඇති කරවමින් නායක කුසල් පෙරේරා සහ වනිඳු හසරංග සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 99ක සබඳතාවක් ගොඩනැගුවා.

එම ශක්තිමත් සබඳතාව බිඳවැටුණේ හසරංගගේ දැවී යාමත් සමග යි.

අර්ධ ශතකයක් ද වාර්තා කළ ඔහු ලකුණු 54ක් ලබාගත්තා.

මුලු ලකුණු ගනන 145ක්ව තිබිය දී දැවී ගිය ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් ද ඇතුළත් වූවා.

අනතුරුව පිටියට පිවිසි රමේෂ් මෙන්ඩිස්ට ලබාගත හැකි වූයේ එක් ලකුණක් පමණයි.

ධනංජය ලක්ෂාන් ද ලකුණු 02කට දැවී ගියා.

ශ්‍රී ලංකා ඉනිමෙහි බර උසුලාගෙන සිටි නායක කුසල් පෙරේරාගේ කඩුල්ල මුලු ලකුණු ගණන 152ක්ව තිබියදී දැවී ගියේ, එය තරගයේ තීරණාත්මක සන්ධිස්ථානයක් බවට පත් කරවමින්.

07 වැනි කඩුල්ල ලෙස ඔහු දැවී ගියේ ලකුණු 73ක් ලබා සිටියදී යි.

පන්දු 81කට මුහුණදුන් ඔහු හතරේ පහර 7ක් එල්ල කළා.

බිනුර ප්‍රනාන්දු ලකුණු 02කටත්, දුෂ්මන්ත චමීර ලකුණු 07කටත්, ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 04කටත් දැවී ගියා.

සියළු කඩුළු බිඳවැටුණු පසු නොදැවී ඉතිරි වූ චාමික කරුණාරත්න ඉනිම අවසන් වෙද්දී ලකුණු 19ක් රැස් කරගෙන සිටියා.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් කඩුළු 04කුත්, ඩේවිඩ් විලී කඩුළු 03කුත් දවා ගත්තා.

මොයීන් අලී ද එක් කඩුල්ලකට හිමිකම් කීවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 June 2021 22:07