May 04, 2024

ලැජ්ජා සහගත පරාජයක් - තරගය නිමා වුණේ මෙහෙමයි

ශ්‍රී ලංකා එංගලන්ත අවසන් 20 විස්ස තරගය අවසානයේ දීත් අන්ත පරාජයකට ලක් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මීට සුළු මොහොතකට පෙර සිදු වූවා.

එංගලන්තය අද තරගය ජයගත්තේ ලකුණු 89කින්.

ඒ අනුව තරග තුනකින් යුතු ශ්‍රී ලංකා එංගලන්ත 20 විස්ස තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට එංගලන්තය සමත් වුණා.

අද තරගයේ කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දු යැවීමට යි ශ්‍රී ලංකා නායක කුසල් පෙරේරා තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුළු 06ක් දැවී ලැබූ ලකුණු ගණන 180ක්.

ඒ අනුව ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු 181ක ඉලක්කයක් හිමි වූවා.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර කැපී පෙණුනු අතර ලකුණු 17ක් ලබා දෙමින් ඔහු බිඳහෙලූ කඩුළු ගණන 04ක්.

එය ඔහුගේ හොඳම 20 විස්ස පන්දු යැවීම ලෙස යි ඉතිහාසගත වන්නේ.

තරගය ආරම්භයේ දී එංගලන්ත පිතිකරුවන් වේගවත් පිතිකරණයක නිරත වූ අතර එම රිද්මය බිඳ හෙළන්නට චමීරගේ පන්දු යැවීම සමත් වුණා.

විශේෂයෙන් තරගයේ අවසන් භාගයේ දී චමීරගේ දක්ෂතා කැපී පෙණුනු අතර විස්තර විචාරකයින්ගේ ද පැසසුමට ඔහු ලක්වුණා.

ඉසුරු උදාන සහ බිනුර ප්‍රනාන්දු ද කඩුළු 1 බැගින් ලබා ගත්තා.

එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු අතරට පැමිණි අතර පළමු කඩුල්ල ලෙස දැවී ගිය ජොනී බෙයස්ටෝ ලකුණු 51ක් ලබා ගත්තා.

ඩේවිඩ් මලාන්ගේ ලකුණු 76 ද විශේෂයෙන් කැපී පෙණුනා.

ලියම් ලිවිංස්ටන් ලකුණු 14යි.

අනෙකුත් පිතිකරුවන්ට ලකුණු අතරට ඒමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් දැඩි අසරණභාවයකට පත් කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

ඒ, ඉනිම තුළ එංගලන්ත පන්දු යවන්නන් යොමු කළ පන්දුවලින් බහුතරය නිලකුණු පන්දු බවට පත් කරවමින්.

පිතිකරුවන් සියළු දෙනාම පාහේ පහරවල් එල්ල කිරීමට දැඩි උත්සහයක් ගත්ත ද පන්දුව පිත්තේ වැදීම සිදුවන්නේ ද කලාතුරකින් බව නිරීක්ෂණය වූවා.

කුසල් මෙන්ඩිස් අද දිනයේ ද විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ අවස්ථාව අපරීක්ෂාකාරී ලෙස වැය කළ අයුරු කැපී පෙණුනා.

තරගයේ 19 වැනි පන්දුවාරයේ දී ශ්‍රී ලංකාවේ අවසන් කඩුල්ල ද බිඳවැටුණු අතර ඒ අනුව සියලු දෙනා දැවී ශ්‍රී ලංකාව ලැබූවේ ලකුණු 91ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණූ ලාභියා වූයේ බිනුර ප්‍රනාන්දු වන අතර ඔහු ලැබූ ලකුණු ගණන 20ක්.

ඔෂද ප්‍රනාන්දු ලකුණු 19යි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 11 යි.

අනෙකුත් ක්‍රීඩකයින් කිසිවෙකුට හෝ අංක දෙකකින් යුතු ලකුණු ගණනක් වාර්තා කරගැනීමට හැකි වූයේ නැහැ.

ඩේවිඩ් විලී කඩුළු 03කුත්, සැම් කරන් කඩුළු 02කුත්, ක්‍රිස් වෝක්ස්, ක්‍රිස් ජෝදන්, ලියම් ලිවිංස්ටන් හා මොයීන් අලී එක් කඩුල්ල බැගිනුත් දවා ගත්තා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 June 2021 23:07