May 04, 2024

ශ්‍රී ලංකා ඉනිම අවසන් - පළමු එක්දින සටනේ දැන් තත්ත්වය

එංගලන්ත - ශ්‍රී ලංකා පළමු එක්දින තරගය මේවන විට පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව එංගලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් කඩුළු සියල්ලම දැවී රැස් කළේ ලකුණු 185ක් පමණ යි.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 186ක පහසු ඉලක්කයක් ප්‍රබල එංගලන්ත කණ්ඩායමට ලැබී තිබෙනවා.

මුලු ලකුණු ගණන 23ක්ව තිබිය දී පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක දැවී ගියේ ලකුණු 05කට යි.

තම පළමු එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ චරිත් අසලංකට එකදු ලකුණක් හෝ ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

දසුන් ශානක ද ලකුණු එකක් පමණක් ලබා සිටිය දී දැවී ගියේ මුලු ලකුණු ගනන 46ක්ව තිබියදියි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට තරමක හෝ බලාපොරොත්තුවක් ඇති කරවමින් නායක කුසල් පෙරේරා සහ වනිඳු හසරංග සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 99ක සබඳතාවක් ගොඩනැගුවා.

එම ශක්තිමත් සබඳතාව බිඳවැටුණේ හසරංගගේ දැවී යාමත් සමග යි.

අර්ධ ශතකයක් ද වාර්තා කළ ඔහු ලකුණු 54ක් ලබාගත්තා.

මුලු ලකුණු ගනන 145ක්ව තිබිය දී දැවී ගිය ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් ද ඇතුළත් වූවා.

අනතුරුව පිටියට පිවිසි රමේෂ් මෙන්ඩිස්ට ලබාගත හැකි වූයේ එක් ලකුණක් පමණයි.

ධනංජය ලක්ෂාන් ද ලකුණු 02කට දැවී ගියා.

ශ්‍රී ලංකා ඉනිමෙහි බර උසුලාගෙන සිටි නායක කුසල් පෙරේරාගේ කඩුල්ල මුලු ලකුණු ගණන 152ක්ව තිබියදී දැවී ගියේ, එය තරගයේ තීරණාත්මක සන්ධිස්ථානයක් බවට පත් කරවමින්.

07 වැනි කඩුල්ල ලෙස ඔහු දැවී ගියේ ලකුණු 73ක් ලබා සිටියදී යි.

පන්දු 81කට මුහුණදුන් ඔහු හතරේ පහර 7ක් එල්ල කළා.

බිනුර ප්‍රනාන්දු ලකුණු 02කටත්, දුෂ්මන්ත චමීර ලකුණු 07කටත්, ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 04කටත් දැවී ගියා.

සියළු කඩුළු බිඳවැටුණු පසු නොදැවී ඉතිරි වූ චාමික කරුණාරත්න ඉනිම අවසන් වෙද්දී ලකුණු 19ක් රැස් කරගෙන සිටියා.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් කඩුළු 04කුත්, ඩේවිඩ් විලී කඩුළු 03කුත් දවා ගත්තා.

මොයීන් අලී ද එක් කඩුල්ලකට හිමිකම් කීවා.

මෙම පුවත පළ කරන අවස්ථාව වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 54ක් ලබා සිටිනවා.

ක්‍රියාත්මක වන්නේ තරගයේ 05 වැනි පන්දුවාරය යි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 June 2021 20:09