May 04, 2024

චමීරගෙන් සුපිරි දස්කමක් - ලංකාවට ලැබුණු ඉලක්කය මෙන්න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර එංගලන්තයේ පැවැත්වෙන 20 විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් තරගයේ එංගලන්ත ඉනිම මීට සුළු මොහොතකට පෙර අවසන් වූවා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක කුසල් පෙරේරා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුළු 06ක් දැවී එංගලන්ත පිතිකරුවන් ලැබූ ලකුණු ගණන 180ක්.

ඒ අනුව ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු 181ක ඉලක්කයක් ලැබී තිබෙනවා.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර කැපී පෙණුනු අතර ලකුණු 17ක් ලබා දෙමින් ඔහු බිඳහෙලූ කඩුළු ගණන 04ක්.

එය ඔහුගේ හොඳම 20 විස්ස පන්දු යැවීම ලෙස යි ඉතිහාසගත වන්නේ.

තරගය ආරම්භයේ දී එංගලන්ත පිතිකරුවන් වේගවත් පිතිකරණයක නිරත වූ අතර එම රිද්මය බිඳ හෙළන්නට චමීරගේ පන්දු යැවීම සමත් වුණා.

විශේෂයෙන් තරගයේ අවසන් භාගයේ දී චමීරගේ දක්ෂතා කැපී පෙණුනු අතර විස්තර විචාරකයින්ගේ ද පැසසුමට ඔහු ලක්වුණා.

ඉසුරු උදාන සහ බිනුර ප්‍රනාන්දු ද කඩුළු 1 බැගින් ලබා ගත්තා.

එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු අතරට පැමිණි අතර පළමු කඩුල්ල ලෙස දැවී ගිය ජොනී බෙයස්ටෝ ලකුණු 51ක් ලබා ගත්තා.

ඩේවිඩ් මලාන්ගේ ලකුණු 76 ද විශේෂයෙන් කැපී පෙණුනා.

ලියම් ලිවිංස්ටන් ලකුණු 14යි.

අනෙකුත් පිතිකරුවන්ට ලකුණු අතරට ඒමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම තවත් සුළු මොහොතකින් ඇරඹීමට නියමිත යි.

Rate this item
(0 votes)