May 20, 2024

ශකීබ් අල් හසන්ට තරඟාවලි තහනමක්

බංග්ලාදේශයේ දේශීය T20 තරඟාවලියක් වන ඩකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය අතර ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය අමතක කරමින් අශිලාචාර ලෙස හැසිරුණු ශකීබ් අල් හසන් වෙත බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තරඟ තහනමක් පනවා තිබේ.

ඊයේ (11) දිනයේ දී ඩකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ මොහොමඩාන් ස්පෝර්ට් සහ අබාහානි ලිමිටඩ් තරඟය අතරදී සිදු වූ සිදුවීම් දෙකක් හමුවේ ශකීබ් විසින් ඉතාමත් අශිලාචාර ලෙස හැසිරුණු ආකාරය දැක ගත හැකි වුණා.

එහිදී ඔහු යැවූ පන්දුවකට දැවී යාමක් ඉල්ලූ අවස්ථාවේ විනිසුරුවරයා විසින් ප්‍රතිචාර නොදැක්වීම මත විනිසුරුට බැන වදිමින් කඩුල්ලට පයින් ගැසූ අතර ඉන්පසුව වර්ෂාව හේතුවෙන් තරඟය නතර කරන අවස්ථාවේ කඩුල්ල ගලවා පොළොවේ ගැසීමට ඔහු කටයුතු කර තිබුණා.

මෙම සිදුවීම සම්බන්ධව ලෝකය පුරා සමාජ මාධ්‍ය තුළ ක්‍රිකට් ලෝලීන් සිය විරෝධය පළ කර තිබුණේ බංග්ලාදේශ ක්‍රීඩකයන් නිරන්තරයෙන් මෙවන් ආකාරයට හැසිරෙන බවටද චෝදනා කරමින්.

ශකීබ්ට එල්ල වුණු චෝදනා

ශකීබ් ඩකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 11 වෙනි තරඟයේ දී කරන ලද ක්‍රියාවන් පිළිබඳව බලධාරීන් විසින් පරික්ෂණයක් පවත්වා තිබුණු අතර එහිදී ඔහු විසින් පහත සඳහන් වැරැදි සඳහා වරදකරු බවට අනාවරණය වී තිබෙනවා.

  1. තරඟය අතරතුර දී විනිසුරුවරුන්ට බැන අපහාස කිරීම
  2. ක්‍රීඩාංගණයේ සේවකයන් බැන වැදීම සහ අපහාස කිරීම
  3. ක්‍රීඩාංගණයට අයත් උපකරණවලට අලාභ හානි සිදු කිරීම

ශකීබ් වෙත මෙම චෝදනා එල්ල වී තිබෙනවා. එමෙන්ම ඒවාට දඬුවම් ලබා දීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් විසින් කටයුතු කර තිබුණා. මෙම සියලු චෝදනා ශකීබ් අල් හසන් විසින් පිළිගෙන ඇති බව වාර්තා වෙනවා.

ශකීබ්ට ලැබුණු දඬුවම

ඉහත සඳහන් කළ වැරැදිවලට ශකීබ් අල් හසන් වැරැදිකරු බවට තහවුරු වීමත් සමඟ ඔහුට එරෙහිව ඩකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඉදිරි තරඟ 03ක් සඳහා තහනමක් පනවා තිබෙනවා. ඒ අනුව ශකීබ්ට මොහොමඩාන් ස්පෝර්ට් කණ්ඩායම වෙනුවෙන් ඉදිරි තරඟ 03 ක්‍රීඩා කිරීමට අවස්ථාව නැහැ.

එමෙන්ම ශකීබ්ගෙන් දඩ මුදලක් ද අය කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණා. ඒ අනුව ඔහුට බංග්ලාදේශ ටකා ලක්ෂ 5ක් (ඇමෙරිකානු ඩොලර් 5800ක්) දඩයක් ගෙවීමටද සිදු වෙනවා.

සබැඳි පුවත් >>>

ශකීබ් අල් හසන් පිටිය මැද යකා නටයි - විකට්ටුවත් ගලවා පොළොවේ ගසයි (VIDEO)

ශකීබ් සමාව ඉල්ලයි - යකා නටපු හේතුව තරඟ පවා දීමක්?

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 June 2021 19:36