May 03, 2024

භානුක සහ අසලංක තරගය කනපිට හරවයි! සිංහයෝ ජය ගත්තේ මෙහෙමයි!

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය මීට සුළු මොහොතකට පෙර අවසන් වූවා.

බංග්ලාදේශයට එරෙහින පැවැති තරගය විශිෂ්ඨ ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

කෙසේ වෙතත් තරගයේ අඩකටත් වඩා යන තුරු ශ්‍රී ලංකාව ජය ගනීවියි කිසිවෙකු සිතුවේ නැහැ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසුණු බංග්ලාදේශ පිතිකරුවන් දැවැන්ත ලකුණු ඉලක්කයක් වෙත ගියා.

නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 04ක් පමණක් දැවී ඔවුන් ලබා ගත් ලකුණු ගණන 171ක්.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු 172ක අසීරු ඉලක්කයක් ලැබී තිබෙනවා.

එම ලකුණු ඉලක්කය වෙත යාමට නම් පන්දුවාරයක් තුළ තබාගත යුතු ලකුණු ලබාගැනීමේ වේගය 8.55ක්.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මොහමඩ් නයීම් ලකුණු 62ක් ලබා ගත්තා.

මෙම තරගාවලිය තුළ දී සාර්ථකත්වයක් නොපෙන්වූ මුෂ්ෆිකර් රහීම් අද දිනයේ සුපුරුදු රිද්මයට පැමිණි අතර ඔහු නොදැවී ලැබූ ලකුණු ගණන 57ක්.

ලිටෝන් දාස් ලකුණු 16කටත් අෆීෆ් හුසේන් ලකුණූ 07කටත් දැවී ගියා.

මහමදුල්ලා නොදැවී ලකුණු 10 යි.

පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු සහ ලහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවාගත්තා.

අනෙක් කඩුල්ල දුවද්දී දැවීයාමක් ලෙස දවා ගත්තේ ද ලහිරු කුමාර විසින්.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ඉතා අඩු ලකුණු ගණනකට දැවී යාමත් සමග බංග්ලාදේශයේ ජය තහවුරු වූ බව පෙනෙන්නට වූවා.

කුසල් පෙරේරා ලබා ගත්තේ එක් ලකුණක් පමණ යි.

පැතුම් නිස්සංක ලකුණු 24කට දැවී ගියා.

අවිශ්ක ප්‍රනාන්දු එකදු ලකුණක් හෝ ලබාගත්තේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව බවට පත්වූ වනිඳු හසරංග හට ලබාගත හැකි වූයේ ලකුණු 06ක් පමණ යි.

කඩුළු එකින් එක මෙලෙස බිඳ වැටෙද්දී චරිත් අසලංක පමණක් සිය වගකීම ඉටු කරන ආකාරය දක්නට ලැබුණා.

කෙසේ වෙතත් ඔහුට අනගි සහයක් ලබා දීමට 05 වැනි පිතිකරු ලෙස පැමිණි භානුක රාජපක්ෂ සමත් වූයේ තරගය උඩු යටිකුරු කරවමින්.

දෙදෙනා එක්ව ශ්‍රී ලංකාව වැටී තිබූ ආගාධයෙන් ගොඩ ගත් අතර භානුක සහ අසලංක පන්දු 52ක් තුළ ගොඩ නැගූ සබඳතාව ලකුණු 86ක්.

කොහොම නමුත් අසලංක සහ භානුක යන දෙදෙනාගේම උඩපන්දු දෙකක් ලිටෝන් දාස් විසින් අතහැරි අතර දෙදෙනාගේ ලකුණු සබඳතාව වෙත එය ද තීරණාත්මක සාධකයක් වූවා.

අද දින සිය 30 වැනි උපන්දිනය සමරන භානුක රාජපක්ෂ තරගයේ අවසන් භාගයේ දී දැවීයන විට අර්ධ ශතකයක් ද සමගින් ලකුණු 53ක් රැස් කරගෙන සිටියේ පන්දු 31කට යි.

තරගය ජයග්‍රහණය කරා මෙහෙයවූ චරිත් අසලංක නොදැවී ලකුණු 80ක් ලබා ගත්තා.

එය මෙම තරගාවලිය තුළ මෙතෙක් පැවැති තරග තුළ දී එක් ඉනිමක දී එක් ක්‍රීඩකයෙකු ලබා ගත් වැඩිම ලකුණු ගණනයි.

ඔහු ඒ සඳහා වැය කළේ පන්දු 49ක් පමණ යි.

අනෙක් පස ක්‍රීඩා කරමින් සිටි නායක දසුන් ශානක එක් පන්දුවකට පමණක් මුහුණ දී නොදැවී ලකුණු 01ක් ලබා සිටියා.

කඩුළු 05ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණූ 172ක් ලබා ගනිමින් තරගය ජය ගත්තේ තවත් පන්දු 07ක් ඉතිරිව තිබියදි යි.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය තුළ මෙතෙක් සහභාගී වූ තරග සියල්ලම ජය ගෙන තිබීම ද විශේෂත්වයක්.

Rate this item
(0 votes)
Last modified on Sunday, 24 October 2021 19:42