April 24, 2024

බංගලියන්ගේ කුසලාන සිහිනය තවත් බොඳ වෙයි

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු කාණ්ඩය යටතේ අද (27) දිනයේත් තරගයක් පැවැත්වුණා.

ඒ ප්‍රබල එංගලන්තය සහ බංග්ලාදේශය අතර යි.

තුන්වැනි පරාජය

තරගාවලිය ආරම්භයට පෙර ක්‍රිකට් විචාරකයින් අනාවැකි පළ කළේ මෙම ලෝක කුසලානයේ දී බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉහළ දක්ෂතා දක්වනු ඇති බවට යි.

කෙසේ වෙතත් එම අනාවැකි තවදුරටත් බොරු කරමින් බංග්ලාදේශය මෙම තරගාවලිය තුළ ලැබූ තුන්වැනි පරාජය අද වාර්තා කළා.

මෙම තරගාවලියේ දී බංග්ලාදේශය සහභාගී වූ පළමු තරගය වූ මූලික වටයේ දී ස්කොට්ලන්තයට එරෙහිව පැවැති තරගයෙන් සිය පරාජය ඇරඹූ බංග්ලාදේශය එම වටයේ ඉතිරි තරග දෙක ජයගත්තත් පසුගිය 24 වැනි දා තමන් සහභාගී වූ සුපිරි 12 වටයේ පළමු තරගය ද පරාජයට පත් වූවා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ යි.

කෙසේ වෙතත් එම තරගයේ දී ශ්‍රී ලංකාවට හොඳ තරගයක් ලබා දීමට ඔවුනට හැකි වුණා.

එහෙත් අද පැවැති තරගයේ දී එවැනි තරගකාරී බවක් නොමැතිව දුර්වල මට්ටමෙන් බංග්ලාදේශ කණ්ඩායම ක්‍රීඩා කළ බව තරගයේ විස්තර විචාරකයින් පවා සඳහන් කළා.

අද තරගය

අද දිනයේ කාසියේ වාසිය දිනාගත්තේ බංග්ලාදේශ නායක මහ්මදුල්ලා යි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඔහු තීරණය කළා.

කෙසේ වෙතත් බංග්ලාදේශ පිතිකරුවන් එංගලන්ත පන්දු යවන්නන් හමුවේ අසරණ වූ බවයි තරගයේ ආරම්භයේ සිටම පෙනෙන්නට වූයේ.

බංග්ලාදේශ ඉනිම

මුල්පෙල පිතිකරුවන් තිදෙනාටම ලකුණු 10ක්වත් රැස් කරගන්නට නොහැකි වූවා.

ලිටොන් දාස් ලකුණු 09කුත් මොහමඩ් නයීම් ලකුණූ 05කුත් ලබා ගත්තා.

බංග්ලාදේශයේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් ලකුණු 04කට දැවී යාම විශේෂයෙන් කැපී පෙණුනා.

මුෂ්ෆිකර් රහීම් ලකුණු 29ක් ලබා ගත් අතර එය බංග්ලාදේශ ක්‍රීඩකයෙකු අද රැස් කළ වැඩිම ලකුණු ගණන යි.

නායක මහමදුල්ලාට ද ලබාගැනීමට හැකි වූයේ ලකුණූ 19ක් පමණයි .

අෆීෆ් හුසේන් ලකුණු 05කට දැවී යද්දී නුරුල් හසන් ලකුණූ 16කටත් මෙහෙදි හසන් ලකුණූ 11කටත් දැවී ගියා.

මුස්ටෆිසුර් රහ්මාන් හට කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වූවා.

තරගය නිමාවන විට නොදැවී ක්‍රීඩා කරමින් සිටි නසූම් අහ්මඩ් ලකුණු 19ක් ලබා සිටියා.

නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී බංග්ලාදේශයට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 124ක් පමණ යි.

පන්දු යැවීමේ දී ටයිමල් මිල්ස් ලකුණු 27කට කඩුළු 03ක් දවාගත්තා.

ලියම් ලිවිංස්ටන් සහ මොයීන් අලී කඩුළු 02 බැගින් ලබා ගද්දී ක්‍රිස් වෝක්ස් එක් කඩුල්ලක් බිඳහෙලුවා.

එංගලන්ත ඉනිම

ඒ අනුව එංගලන්තයට ලකුණු 125ක පහසු ඉලක්කයක් හිමි වූවා.

ඒ සඳහා පිටියට පිවිසි එංගලන්ත ආරම්භක පිතිකරුවන් යුගලය වූ ජේසන් රෝයි සහ ජෝස් බට්ලර්ගේ ලකුණූ සබඳතාව 33කට සීමා වුණා.

ඒ නසූම් අහ්මඩ් යැවූ පන්දුවකට මොහමඩ් නයීම් අතට උඩපන්දුවක් ලබා  දෙමින් ජෝස් බට්ලර් දැවී යාමත් සමග යි.

ඔහු ලබාගෙන සිටි ලකුණු ගණන 18ක්.

කෙසේ වෙතත් මීලඟ පිතිකරු වූ ඩේවිඩ් මලාන් සමග එක් වූ ජේසන් රෝයි ලකුණූ 73ක අගනා සබඳතාවක් ගොඩනැගුවේ පන්දු 48ක් තුළ යි.

පන්දු 38ක් තුළ වේගවත් ලකුණු 61ක් ලබා සිටි ජේසන් රෝයි 13 වැනි පන්දුවාරයේ දී ෂොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවකට නසුම් අහ්මඩ් අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියා.

ඔහුගේ ඉනිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 05ක් ඇතුළත් වුණා.

ඒ අයුරින් ඉනිමේ දෙවැනි කඩුල්ල බිඳවැටෙද්දී එංගලන්තය ජයග්‍රහණයට ආසන්න වී ලබා සිටි ලකුණූ ගණන 112ක්.

සිව්වැනි පිතිකරු ලෙස පැමිණි ජොනී බෙයාස්ටෝ ඩේවිඩ් මලාන් සමග එක් වී ලකුණු 14ක සබඳතාවක් ගොඩනගමින් එංගලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ඩේවිඩ් මලාන් නොදැවී ලකුණූ 28ක් ලබා ගද්දී ජොනී බෙයාස්ටෝ නොදැවී ලකුණු 08ක් හිමිකරගත්තා.

ජයග්‍රහණය

ඒ අනුව එංගලන්තය කඩුළු 02ක් පමණක් දැවී ලකුණු 126ක් ලබා ගනිමින් තරගය විශිෂ්ඨ ලෙස ජයගත්තේ කඩුළු 08කින්.

ඒ තරගයේ තවත් පන්දු 35ක් ඉතිරිව තිබිය දී යි.

එංගලන්ත ඉනිමෙහි වැඩිම ලකුණූ ලාභියා වූ වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ජේසන් රෝයි තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

ලකුණු පුවරුව

මෙලෙස නිමාවූ පළමු කාණ්ඩයේ තරගයත් සමග එම කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටි එංගලන්තය එම ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමට සමත් වූවා.

ඒ ප්‍රසාද ලකුණු 04කට හිමිකම් කියමින්.

එංගලන්තයේ දල ලකුණූ ලබා ගැනීමේ වේගය +3.614ක් ලෙස දැක්වෙනවා.

කෙසේ වෙතත් බංග්ලාදේශය පළමු කාණ්ඩයේ 05 වැනි තැනට පත් වී ඇත්තේ -1.655ක තරම් පහළ දල ලකුණු ලබාගැනීමේ වේගයක් සමගින්.

එමෙන්ම මෙම වටයේ බංග්ලාදේශය සහභාගී වූ තරග දෙකම පරාජයට පත් වූ පසුබිමක ඔවුන් හට කිසිදු ප්‍රසාද ලකුණක් හිමිකරගැනීමට ද මෙතෙක් හැකි වී නැහැ.

+0.583ක දල ලකුණූ ලබාගැනීමේ වේගයක් සහිතව ප්‍රසාද ලකුණු 02ක් ලබා ශ්‍රි ලංකාව පළමු කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ සිටිනවා.

ශ්‍රී ලංකාව තවමත් මෙම වටයේ සහභාගී වී ඇත්තේ එක් තරගයකට පමණ යි.

හෙට (28) දිනයේ ශ්‍රී ලංකාව, ප්‍රබල ඔස්ට්‍රේලියාව සමග තරග වදිනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 October 2021 20:05