May 03, 2024

ශ්‍රී ලංකාවට ප්‍රබල පීඩනයක්! ලැබුණු දැවැන්ත ඉලක්කය මෙන්න!

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය මේවන විට පැවැත්වෙනවා.

ඒ බංග්ලාදේශයට එරෙහිව යි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසුණු බංග්ලාදේශ පිතිකරුවන් දැවැන්ත ලකුණු ඉලක්කයක් වෙත ගියා.

නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 04ක් පමණක් දැවී ඔවුන් ලබා ගත් ලකුණු ගණන 171ක්.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු 172ක අසීරු ඉලක්කයක් ලැබී තිබෙනවා.

එම ලකුණු ඉලක්කය වෙත යාමට නම් පන්දුවාරයක් තුළ තබාගත යුතු ලකුණු ලබාගැනීමේ වේගය 8.55ක්.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මොහමඩ් නයීම් ලකුණු 62ක් ලබා ගත්තා.

මෙම තරගාවලිය තුළ දී සාර්ථකත්වයක් නොපෙන්වූ මුෂ්ෆිකර් රහීම් අද දිනයේ සුපුරුදු රිද්මයට පැමිණි අතර ඔහු නොදැවී ලැබූ ලකුණු ගණන 57ක්.

ලිටෝන් දාස් ලකුණු 16කටත් අෆීෆ් හුසේන් ලකුණූ 07කටත් දැවී ගියා.

මහමදුල්ලා නොදැවී ලකුණු 10 යි.

පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු සහ ලහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවාගත්තා.

අනෙක් කඩුල්ල දුවද්දී දැවීයාමක් ලෙස දවා ගත්තේ ද ලහිරු කුමාර විසින්.

ශ්‍රී ලංකා පිතිකරුවන් තවත් සුළු මොහොතකින් පිටියට පිවිසීමට නියමිත යි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 24 October 2021 19:05