March 28, 2024

තියුණු තරගයේ අවසන් පන්දුවේ දී බංගලි බලාපොරොත්තු සුන් වෙයි

බංගලියෝ හඬා වැටෙයි

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටය මේ දිනවල  පැවැත්වෙනවා.

එහි පළමු කාණ්ඩය යටතේ තරග කරන බංග්ලාදේශ කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තුව ඊයේ (29) තවත් ඈතට ගියේ බංගලි ක්‍රීඩා ලෝලීන්ගේ දෑසට කඳුළු නංවමින්.

ඒ ඊයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තියුණු තරගය අවසාන මොහොතේ දී පරාජයට පත් වීමත් සමග යි.

ෂාජා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායමේ නායක මහමදුල්ලා සමත් වූ අතර මෙම තරගාවලියේ කාසියේ වාසිය දිනූ සෑම කණ්ඩායමක්ම පාහේ තීරණය කළ අයුරින් ප්‍රථමයෙන් පන්දු යැවීමට ඔහු තීරණය කළා.

කොදෙව් ඉනිම

ඒ අනුව පිටියට පිවිසි කොදෙව්වන්ගේ මුල් කඩුලු කිහිපය ඉතා අඩු ලකුණු ගණනක දී දවා ගන්නට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණා.

පළමු කඩුලු තුන බිඳ වැටුණේ ලකුණු 32ක් ඇතුළත යි.

එවින් ලෙවීස් ලකුණු 06කටත්, ක්‍රිස් ගේල් ලකුණු 04කටත් දැවී යද්දී ෂිම්රන් හෙට්ම්‍යර්ගේ කඩුල්ල බිඳ වැටුණේ ලකුණු 09කට යි.

කොදෙව් මුල් පෙළ පිතිකරුවන්ට සැළකිය යුතු ලකුණු සබඳතාවක් ගොඩ නැගීමට නොහැකි වද්දී කේරන් පොලාඩ් සහ රොස්ටන් චේස් දෙදෙනා එක්ව ලකුණු 30ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වුණා.

කෙසේ වෙතත් පොලාඩ් පිටියෙන් ඉවත්ව ගියේ දැවී යාමකින් තොරව යි.

ඔහු එලෙස ඉවත්ව යාමට පැහැදිළි හේතුවක් මේවන තෙක් වාර්තා නොවූ බව ක්‍රීඩා මාධ්‍ය පවසනවා.

මීලඟට පිටියට පිවිස් අන්ඩ්‍රේ රසල් හට කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

දුවද්දී දැවී යාමකට හසු වූ ඔහුට එක් පන්දුවකට හෝ මුහුණ දීමට නොහැකි වීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත් මීලඟ පිතිකරු වූ නිකලස් පූරාන් සහ රොස්ටන් චේස් ලකුණු 20ක සබඳතාවක් ගොඩනැගුවා.

පුරාන් දැවී ගියේ ලකුණු 40කට යි.

ඔහුගේ ඉනිමට හයේ පහර 04ක් සහ එක් හතරේ පහරක් ඇතුළත් වුණා.

ලකුණු 39ක් ලබා සිටි රොස්ටන් චේස් දැවී ගියේ කොදෙව්වන්ගේ මුලු ලකුණු ගණන 119ක් බවට පත්වෙද්දියි.

ඩ්වේන් බ්‍රාවෝ ලබා ගත්තේ එක් ලකුණක් පමණ යි.

කෙසේ වෙතත් පිටියෙන් ඉවත්ව ගිය පොලාඩ් යළි පැමිණ ජේසන් හෝල්ඩර් සමග එක්ව ලකුණු 19ක වේගවත් සබඳතාවයක් ගොඩ නැගුවා.

නියමිත පන්දුවාර 20 අවසන් වෙද්දී හෝල්ඩර් නොදැවී පන්දු 05ක් තුළ ලකුණු 15ක් රැස් කරගෙන සිටි අතර පොලාඩ් නොදැවී ලකුණු 14ක් ලබා සිටියා.

කඩුලු 07ක් දැවී බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් ලැබූ මුලු ලකුණු ගණන 142ක්.

බංගලි ඉනිම

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ මුල් පෙළ පිතිකරුවන් හට ද ස්ථාවර වීමට කොදෙව් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පළමු බංග්ලාදේශ කඩුලු දෙක දැවී ගියේ ලකුණු 29කට යි.

ශකීබ් අල් හසන් ලබා ගත්තේ ලකුණු 09ක් පමණ යි.

මොහමඩ් නයීම් ලකුණු 17 යි.

කෙසේ වෙතත් සෞම්‍ය සර්කාර් සහ ලිටොන් දාස් එක්ව ලකුණූ 31ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වීම කොදෙව් ක්‍රීඩකයින්ට යම් පීඩනයක් ගෙන දුන්නා.

එම සබඳතාව බිඳී ගියේ ලකුණු 17ක් ලබා සිටි සෞම්‍ය සර්කාර් දැවී යාමත් සමග යි.

එහෙත් එවැනිම වූ සබඳතාවක් ගොඩ නැගීමට මුෂ්ෆිකර් රහීම් සහ ලිටොන් දාස් සමත් වුණා.

එම සබඳතාව ලකුණු 30ක්.

මුෂ්ෆිකර් රහීම් දැවී ගියේ ලකුණු 08කට යි.

මීලඟ පිතිකරු ලෙස නායක මහමදුල්ලා පැමිණි අතර ඔහු සහ ලිටොන් දාස් එක්ව ගොඩ නැගූ ලකුණු 40ක සබඳතාව කොදෙව්වන්ට හිසරදයක් බවට පත් වූවා.

19 වැනි පන්දුවාරය අවසන් වෙද්දී ලිටොන් දාස් ලකුණූ 44කට දැවී ගියත් අවසන් පන්දුවාරය තුළ (පන්දු 06ක් තුළ) බංග්ලාදේශයේ ජයග්‍රහණය සඳහා අවැසි වී තිබුණේ ලකුණු 13ක් පමණ යි.

ජයග්‍රහණය

මහමදුල්ලා සහ අෆීෆ් හුසේන් එක්ව ලකුණු 09ක් රැස් කළේ තරගයේ අවසන් පන්දුවට ලකුණූ 04ක් ලබා ගැනීමේ අභියෝගය බංග්ලාදේශ නායකයා හමුවේ ඉතිරි කරමින්.

කෙසේ වෙතත් හතරේ පහරක් එල්ල කිරීමේ මහමදුල්ලාගේ තැත ව්‍යර්ථ කිරීමට අන්ඩ්‍රේ රසල් සමත් වූයේ පිටිය වටා කෑකෝ ගසමින් සිටි බංග්ලාදේශ ක්‍රීඩා ලෝලීන් නිහඬ කරවමින්.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගය ලකුණූ 03කින් ජය ගත්තා.

කඩුලු 05ක් දැවී බංග්ලාදේශ පිතිකරුවන් ලැබූ මුලු ලකුණු ගණන 139ක්.

තරගයේ වීරයා සම්මානය හිමි වූයේ නිකලස් පූරාන් හට යි.

ලකුණූ පුවරුව

මෙම තරගය නිමා වීමත් සමග බංග්ලාදේශයට මෙම තරගාවලියේ ඉදිරියට පැමිණීමේ අවස්ථාව ඇහිරී තිබෙනවා.

ඔවුන් ඇතුළත්ව ඇති පළමු කාණඩය තුළ බංග්ලාදේශය පසුවන්නේ අවසන් ස්ථානයේ යි.

ඒ මෙම වටය තුළ ඔවුන් සහභාගී වූ තරග 03න් එක් තරගයක් හෝ ජය ගැනීමට නොහැකි වීම මත යි.

තරග 03ම පරාජයට පත්වීම හේතුවෙන් බංග්ලාදේශයට කිසිදු ප්‍රසාද ලකුණක් හෝ හිමිවී නැහැ.

තමන් සහභාගී වූ මුල් තරග දෙකම පරාජයට පත් වුවත් ඊයේ පැවැති තුන්වැනි තරගය ජය ගැනීමට කොදෙව්වන් සමත් වීමත් සමග ඔවුන් පළමු කාණ්ඩයේ පස්වැනි ස්ථානයට පත්ව සිටිනවා.

ඒ ප්‍රසාද ලකුණු 02ක් ලබා ගනිමින්.

පළමු කාණ්ඩයේ පළමු තැන එංගලන්තයටත් දෙවැනි තැන ඔස්ට්‍රේලියාවටත් හිමිව ඇති අතර තුන්වැනි තැන හිමිකරගෙන ඇත්තේ දකුණු අප්‍රිකාව යි.

මෙතෙක් සහභාගී වූ තරග දෙකෙන් 1ක් පමණක් ජය ගත් ශ්‍රී ලංකාව එහි 04 වැනි ස්ථානයේ පසුවනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 30 October 2021 07:43