May 03, 2024

කිසිවෙකු නොසිතූ හමුවක් - සිංහයන්ගේ පළමු සුපිරි 12 සටනට පෙර ඔබ දැනගත යුතුම කරුණු

මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරග ඊයේ (23) ආරම්භ වූවා.

එම වටය තුළ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය අද (24) දිනයේ පැවැත්වීමට නියමිත යි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස 3.30ට ආරම්භවන තරගයේ දී ශ්‍රී ලංකාව තරගවදින්නේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි.

මෙම තරගාවලිය තුළ දී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් එකිනෙකා හමුවන්නේ ද ප්‍රථම වරට වීම විශේෂත්වයක්.

මූලික වටයේ සිදුවූ දේ

මූලික වටයේ තරගවල දී ශ්‍රී ලංකාව A කාණ්ඩයෙනුත් බංග්ලාදේශය B කාණ්ඩයෙනුත් තරග වැදුණා.

කෙසේ වෙතත් මූලික වටය අවසානයේ දී කාණ්ඩ දෙකෙහි ලකුණූ පුවරු දෙස බැලූ විට ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි දක්ෂතා පෙන්වා ඇති බව පෙනෙන්නට තිබෙනවා.

A කාණ්ඩයේ පළමු තැන ගන්නට ශ්‍රී ලංකාව සමත් වූ අතර බංග්ලාදේශයට ලැබුණේ B කාණ්ඩයේ දෙවැනි ස්ථානය යි.

ඒ ස්කොට්ලන්තය එම කාණ්ඩයේ පළමු තැන හිමිකරගැනීම හේතුවෙන්.

ප්‍රසාද ලකුණු ගණන සළකා බැලූ විට ද ශ්‍රී ලංකාව ඉහළින් සිටින්නේ ලකුණූ 06කට හිමිකම් කියමින්.

බංග්ලාදේශය ප්‍රසාද ලකුණු 04ක් හිමිකරගත්තා.

වැඩිම ලකුණු වේගය

කණ්ඩායමක දල ලකුණු ලබා ගැනීමේ වේගය ද තරගාවලියේ දී ඉතාමත් වැදගත් සාධකයක්වනවා.

මූලික වටයට සහභාගී වූ කණ්ඩායම් 08 අතුරින් වැඩිම දල ලකුණු ලබා ගැනීමේ වේගයට හිමිකම් කියන්නේ ද ශ්‍රී ලංකාව යි.

එම අගය +3.754 ක්.

බංග්ලාදේශ කණ්ඩායම හිමිකරගෙන ඇති දල ලකුණු ලබා ගැනීමේ වේගය +1.733ක් වනවා.

අපරාජිත සිංහයෝ

මූලික වටයේ දී එක් කණ්ඩායමකට තරග 03ක් ලැබුණු අතර තමන්ට ලද තරග සියල්ලම ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට සිටින්නේ අපරාජිතව යි.

නමුත් බංග්ලාදේශ කණ්ඩායම තමන් සහභාගී වූ තරග 03න් 01ක් පරාජයට පත් වූවා.

ඔවුන් එලෙස පරාජයට පත් වූයේ ස්කොට්ලන්ත කණ්ඩායම ඉදිරියේ යි.

ශ්‍රේණිගත කිරීම්

කෙසේ වෙතත් ICC පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වලට අනුව බංග්ලාදේශය ශ්‍රී ලංකාවට වඩා ශක්තිමත් ස්ථානයක පසුවනවා.

බංග්ලාදේශය එම ශ්‍රේණිගත කිරීම්හි 06 වැනි ස්ථානයේ සිටින අතර ශ්‍රී ලංකාව සිටින්නේ 10 වැනි ස්ථානයේ යි.

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ලැබූ අසාර්ථකත්වය හමුවේ මෙම තත්ත්වය උදා වී ඇති නමුත් මේවන විට ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා අතරට පැමිණ ඇති බව බොහෝ දෙනාගේ මතය යි.

විශේෂයෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බලඇණිය ඉතාමත් ශක්තිමත් මට්ටමක පවතින බව කිව යුතු යි.

එමෙන්ම ශ්‍රේණිගත කිරීම්හි 14 වැනි ස්ථානයේ පසුවන ස්කොට්ලන්තය ඉදිරියේ කිසිවෙකු නොසිතූ ලෙස බංග්ලාදේශය පරාජයට පත් වීම ද සැළකූ විට දිගුකාලීන දත්ත මත සළකා සිදු කර ඇති ශ්‍රේණිගත කිරීම් අනුව මෙම තරගාවලියේ අනාවැකි පළ කිරීම ද සිදු කළ නොහැකියි.

පෙර හමුවීම්

ජාත්‍යන්තර පන්දුවාර විස්ස තරග 11ක දී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය එකිනෙකා මුණගැසී තිබෙනවා.

ඉන් තරග 07ක ජය හිමිකරගැනීමට සමත් වී ඇත්තේ ශ්‍රී ලංකාව යි.

එහෙත් දෙපිල අතර පැවැති අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග දෙකේදීම ජයග්‍රහණය වාර්තා කළේ බංග්ලාදේශය යි.

අවසන් හමුවේ ජය සිංහයින්ට

ජාත්‍යන්තර පිටියේ තත්ත්වය එසේ වුවත් අවසන් වරට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය හමු වූයේ මීට දින 11කට පෙර යි.

ඒ මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලානයට සමාගාමීව පැවැති පුහුණු තරගයක දී යි.

එම තරගයේ ජය ශ්‍රී ලංකාව තහවුරු කරගත් අතර එය අද තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ මානසිකත්වය ශක්තිමත් කිරීමට තුඩු දෙනු ඇති.

කිසිවෙකු නොසිතූ හමුව

මෙම තරගාවලිය තුළ දී මෙතරම් ඉක්මණින් කණ්ඩායම් දෙක මුණගැසේවි යි බංග්ලාදේශය හෝ ශ්‍රී ලංකාව හෝ සිතුවේ නැහැ.

මූලික වටයේ කාණ්ඩ දෙකක ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය එම කාණ්ඩ දෙකෙහි මුල් තැනට පත් වී සුපිරි 12 වටයේ එකිනෙකට වෙනස් කාණ්ඩවලට තේරී පත්වෙතැයි සියල්ලන්ගේම අපේක්ෂාව වූවා.

කෙසේ වෙතත් සියල්ල වෙනස් වූයේ බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු තරගයේ දී ස්කොට්ලන්තයට පරාජය වීමත් සමග යි.

ඒ අනුව ලකුණූ සටහනේ දෙවැනි ස්ථානයට පත් වීම මත ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සුපිරි 12 දී එක් කාණ්ඩයකට ඇතුළත් වූවා.

පන්දු යවන බලඇණිය

ක්‍රීඩා විචාරකයින් සඳහන් කරන අන්දමට ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ එක සමාන ක්‍රීඩකයින් දෙදෙනෙකු සිටිනවා.

ඒ බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් සහ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග යි.

එමෙන්ම පාර්ශව දෙකෙහිම හොඳ වේගපන්දු යවන්නන් සිටිනවා.

පසුගිය තරගවල දී පැයට කිලෝමීටර 145ක සාමාන්‍යයක් යටතේ පන්දු යැවූ දුෂ්මන්ත චමීර සහ ලහිරු කුමාර ශ්‍රී ලංකා කණ්ඩායම තුළ කැපී පෙනෙන අතර බංග්ලාදේශ කණ්ඩායමේ වේගපන්දු යවන මුස්ටෆිසුර් රහ්මාන් ද විශේෂ යි.

අද සටනට අහිමි තරුව

මේ වන විට ක්‍රිකට් ලෝකයේ කතාබහට ලක්ව සිටින ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට අද තරගය අහිමිව තිබෙනවා.

පෙරේදා (22) නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවැති තරගයේ දී තීක්ෂණ මස්පිඬු වේදනාවකට ලක් වූවා.

තරගයෙන් පසු තරමක් තීක්ෂණ සුවය ලැබූ බව වාර්තා වන නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වෛද්‍යවරුන් සහ භෞතචිකිත්සකවරුන් පූර්ව ආරක්ෂක පියවරක් ලෙස මහීෂ් තීක්ෂණ දින කීපයක් විවේක ගැන්වීමට තීරණය කර තිබෙන බව යි පැවසෙන්නේ.

අද තරගයේ දී තීක්ෂණ වෙනුවට අකිල ධනංජය යොදා ගන්නට වැඩි ඉඩකඩක් පවතින අතර ධනංජය ද සිල්වා ද ඒ සඳහා යොදාගත හැකි හොඳ ආදේශකයක්.

පිතිකරුවෝ

පිතිකරණය අතින් ගත් කල ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා බංග්ලාදේශයට වැඩි වාසි ඇති බව බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන්නේ යැයි ක්‍රිකට් විචාරකයින් පවසනවා.

ශකීබ් අල් හසන්, මුෂ්ෆිකර් රහීම් සහ නායක මහමදුල්ලා බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරණ ප්‍රබලයින් ලෙස හැඳින්විය හැකි යි.

කෙසේ වෙතත් ආක්‍රමණශීලී පිතිකරුවෙකුවන මුෂ්ෆිකර් රහීම් හට මෙම තරගාවලිය තුළ එතරම් සාර්ථකත්වයක් පවත්වා ගැනීමට නොහැකි වූවා.

එහෙත් ඔහුව කිසිසේත් අවතක්සේරු කිරීමට ද නොහැකි යි.

මේ අතර පිතිකරණය අතින් ද තමන්ගේ ප්‍රබල බව ශකීබ් අල් හසන් පසුගිය තරගවල දී පෙන්වූවා.

තව ද මැද පෙළ පිතිකරුවෙකු ලෙස තම වගකීම ඉටු කළ හැකි පිතිකරුවෙකු ලෙස නායක මහමදුල්ලා ද ඔප්පු කර තිබෙනවා.

තවමත් නොවිසඳුණූ මුල් පෙළ ගැටලුව

ශ්‍රී ලංකා පිතිකරණ බලඇණියට වඩා බංග්ලාදේශ පිතිකරණ බලඇණිය ශක්තිමත් ය යන  මතයට බොහෝ සෙයින් හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා මුල් පෙළ දිගින් දිගටම අසාර්ථක වීම යි.

මීට පෙර සඳහන් කළ පසුගිය 12 වැනි දා බංග්ලාදේශය සමග පැවැති පුහුණු තරගයේ දී ද පිතිකරුවන් කැපී පෙනෙන අසාර්ථකත්වයකට ලක් වූ අතර අද තරගයට ද සහභාගී වන්නේ බංග්ලාදේශයවන බැවින් එය ද සැළකිල්ලට ගත යුතු කරුණක්.

විශේෂයෙන් මෙම ලෝක කුසලාන තරගාවලියේ දී දිනේෂ් චන්දිමාල්ගේ පිතිකරණ දායකත්වය නොසලකා හැරිය හැකි තරම් දුර්වල එකක් වුණා.

මේ හේතුවෙන් මේවන විට චන්දිමාල් වෙනුවට චරිත් අසලංක ආදේශ කර තිබෙනවා.

කෙසේ වෙතත් පෙරේදා නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයේ දී අසලංකට ද එතරම් සාර්ථකත්වයන් පෙන්වන්නට නොහැකි වූවා.

විස්සයි විස්ස පිටියේ වඩාත් අත්දැකීම් සහිත ශ්‍රී ලාංකික පිතිකරුවාවන හිටපු නායක කුසල් පෙරේරා ද දිගින් දිගටම අසාර්ථක වුවත්, නෙදර්ලන්තය සමග පෙරේදා පැවැති තරගයේ දී ඔහු යම් සාර්ථකත්වයක් පෙන්නුම් කළා.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එම තරගයේ දී ලකුණු නොලබාම දැවී ගියත් අයර්ලන්තයට එරෙහි තරගයේ දී ඔහු රැස් කළ ලකුණු 61 නොසලකා හරින්නට බැහැ.

කෙසේ වෙතත් මෙම තත්ත්වය සලකා බලන කල ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන්ට වඩාත් වැඩි වගකීමක් පැවරී තිබෙනවා.

අද පිටිය

අද තරගය පැවැත්වෙන ෂාජා ක්‍රිකට් පිටිය වේගයෙන් අඩු තණ තිල්ලක් ලෙස යි සැළකෙන්නේ. 

ඒ අනුව දඟ පන්දු යවන්නන්ට මෙහි දී හොඳින් දස්කම් දැක්විය හැකි බව විචාරකයින්ගේ අදහස යි.

හිරු බැස යාමට පෙර අද තරගය ආරම්භවන බැවින් මැදපෙරදිග පවතින අධික උෂ්ණත්වය ද තරගයේ අවසන් තීරණයට බලපානු ඇති.

එම උෂ්ණත්වය යටතේ විශේෂයෙන් තරගයේ ප්‍රථමයෙන් පන්දු යවන ක්‍රීඩකයින් වඩාත් වෙහෙසට පත්වන නිසා කාසියේ වාසිය ලබා ගන්නා නායකයාගේ තීරණයට එය ද තීරණාත්මක සාධකයක්.

මෙය රාත්‍රී තරගයක් නොව සවස් කාලයේ පැවැත්වෙන තරගයක්වන බැවින් පින්න පිළිබඳව ගැටළුවක් නොමැති බව විචාරකයින් පවසනවා.

මේ අතර ෂාජා පිටියේ හතරේ සීමාව අනෙක් ක්‍රීඩාංගණ හා සැසඳීමේ දී දුරින් අඩු බවක් පෙන්නුම් කරනවා.

මෙම තණ තීරුවේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන කණ්ඩායම ලකුණු 140 - 160ත් අතර ප්‍රමාණයක් ලබාගත හොත් එය තරග ජය තහවුරු කර ගැනීම සඳහා ඉහවල්වනු ඇති බව විචාරකයින්ගේ අදහස යි.

මුල් පන්දුවාර 06

ෂාජා තණ තීරුවේ හැසිරීම සැළකීමේ දී පළමු පන්දුවාර 06 හෙවත් පවර්ප්ලේ අවස්ථාව තීරණාත්මක බව ද ක්‍රිකට් විචාරකයි ප්‍රකාශ කරනවා.

පවර්ප්ලේ අවස්ථාව ඇතුළත වැඩි ලකුණූ ප්‍රමාණයක් ලබා ගැනීම එම කණ්ඩායමට දැඩි වාසිසහගත බවත් ගෙන දෙනු ඇති බවට ඔවුන් පවසනවා.

කෙසේ වෙතත් තවමත් විසඳී නොමැති ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරණ ගැටළුව හේතුවෙන් පවර්ප්ලේ අවස්ථාවේ දී එම වාසිය ශ්‍රී ලංකාවට ලබා ගත හැකිවේ දැයි යන්න පිළිබඳව විශේෂයෙන් සැළකිලිමත් විය යුතු වනවා.

ශ්‍රී ලංකාවේ වාසිය

මෙම තරගාවලිය තුළ බංග්ලාදේශය මෙතෙක් සහභාගී වී ඇති තරග අතුරින් එකදු තරගයක් හෝ ෂාජා පිටියේ පවත්වා නැහැ.

මේ හේතුවෙන් ෂාජා තණ තිල්ල බංග්ලාදේශ ක්‍රීඩකයින්ට යම් තරමකින් ආගන්තුක වනු ඇති.

එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට එක් තරගයක් මෙම තණ තිල්ලේ ක්‍රීඩා කර තිබෙනවා.

ඒ මූලික වටයේ අවසන් තරගය වූ නෙදර්ලන්තයට එරෙහි තරගය යි.

මෙය ශ්‍රී ලංකාවට යම් වාසි සහගත බවක් එක්කරනු ඇති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වේස් මහරූෆ් ද ප්‍රකාශ කළා.

මෙම තත්ත්වය මත බංග්ලාදේශ ක්‍රීඩකයින්ට වඩා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තණ තිල්ලේ ගුණාංග පිළිබඳ යම් අවබෝධයකින් යුතු බව ඔහු පවසනවා.

ලකුණු දෙන හැටි

සුපිරි 12 දෙනාගේ වටය තුළ දී ක්‍රියාත්මක වන්නේ ද මූලික වටයේ ක්‍රියාක්මක වූ ක්‍රමයට සමාන ලකුණු ලබා දීමේ ක්‍රමයක්.

එක් තරගයකින් ජය ලබන කණ්ඩායමක් වෙත ප්‍රසාද ලකුණු 02ක් හිමිවනවා.

තරගයකින් පරාජය ලබන විට එම කණ්ඩායමට කිසිදු ලකුණක් හිමිවන්නේ නැහැ.

කෙසේ වෙතත් තරගයක් ජය පරාජයකින් තොරව අවසන් වුවහොත් කණ්ඩායම් දෙකටම එක් ලකුණ බැගින් හිමිවනවා.

වර්ෂාව නිසා හෝ වෙනත් හේතුවක් නිසා තරගයක් නොපවත්වා අතහැර දැමීමක් සිදුවුවහොත් සහ තරගය අතරතුරේ යම් හේතුවක් මත තරගය අතහැර දැමීමට සිදුවුවහොත්, එවැනි අවස්ථාවකදී ද කණ්ඩායම් දෙකටම එක් ලකුණ බැගින් හිමිවනු ඇති.

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සියළු තොරතුරු සහ පුවත් සඳහා “Asian Mirror සිංහල” වෙබ් අඩවිය සමග රැඳී සිටින්න.

Rate this item
(0 votes)
Last modified on Sunday, 24 October 2021 11:21