May 10, 2024

ක්‍රිකට් ලොව මවිත කළ තීක්ෂණ අද තරගයෙන් ඉවතට

මේ වන විට ක්‍රිකට් ලෝකයේ කතාබහට ලක්ව සිටින ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට, ශ්‍රී ලංකාව සහභාගීවන මීලඟ තරගය අහිමි වී ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස ඔහුට අහිමි වන්නේ සුපිරි 12 වටයේ දී ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය යි.

එය අද (24) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ආබාධය

පෙරේදා (22) නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවැති තරගයේ දී තීක්ෂණ මස්පිඬු වේදනාවකට ලක් වූවා.

මේ හේතුවෙන් ඔහුට අද තරගය අහිමිවනු ඇති බව යි පැවසෙන්නේ.

පෙරේදා තරගයේ දී ඔහු යැවූයේ එක් පන්දුවාරයක් පමණ යි.

එම පන්දුවාරය තුළ තීක්ෂණ ලකුණු 03කට කඩුළු දෙකක් ලබා ගත්තා.

තමන් යැවූ පන්දුවාරයෙන් පසු ක්‍රීඩාගාරය වෙත ගිය මහීෂ් එම තරගයේ දී යළි පිටියට පැමිණියේ නැහැ.

තරගයෙන් පසු තරමක් තීක්ෂණ සුවය ලැබූ බව වාර්තා වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වෛද්‍යවරුන් සහ භෞතචිකිත්සකවරුන් පූර්ව ආරක්ෂක පියවරක් ලෙස මහීෂ් තීක්ෂණ දින කීපයක් විවේක ගැන්වීමට තීරණය කර තිබෙන බව ක්‍රිකට් පුවත් වාර්තා පෙන්වා දෙනවා.

අද නාවත් පසුව එනවා

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බළඇණියේ සුවිශේෂී කාර්යභාරයක් මහීෂ් තීක්ෂණට පැවරෙන බැවින් මෙම ආබාධයත් සමග ඔහු තාවකාලිකව විවේක ගන්වා, ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ඇති ප්‍රබල කණ්ඩායම් සමග තරගවලට ඔහු එක්කරගන්නා ඇති බවට වාර්තා වෙනවා.

තීක්ෂණ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු භානුක රාජපක්ෂ ප්‍රකාශ කළේ මෙවැන්නක්.

"කණ්ඩායමේ භෞතචිකිත්සකවරුන් කිව්වා ඔහු ඊළඟ තරගයට එක් නොකරන්න තීරණය කළා කියලා. අපිට ඔහුගේ තත්ත්වය එක්ක අවදානමක් ගන්න ඕනේ නැහැ. ඔහු එක් තරගයක් ක්‍රීඩා කරලා තරගාවලියම ක්‍රීඩා නොකරන අවදානම ගන්න බැහැ.  මේ වෙද්දී අපිට වාර්තා වෙන්නේ ඔහු මීළඟ තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ කියලා. ඒක 100%ක් තහවුරු කරලා නැහැ. නමුත් ලොකු අවස්ථාවක් තියනවා ඔහු පළමු තරගය ක්‍රීඩා නොකරන්න. සෙසු තරගවලට ඔහු ක්‍රීඩා කරාවි"

එමෙන්ම ශ්‍රී ලංකා නායක දසුන් ශානක ද මහීෂ් තීක්ෂණ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා.

"මම හිතන්නේ නැහැ ඔහුගේ මෙම ආබාධය ගොඩක් කල් තියේවි කියලා. ඒත් ඔහුට මේ තරගය අහිමි වේවි. අපි අපේ උපරිමය කරනවා ඔහු නැවතත් යෝග්‍යතාවයට ගේන්න"

මේ අතර අද තරගයේ දී තීක්ෂණගේ අඩුව පිරවීම සඳහා අකිල ධනංජය යොදාගනු ඇති බව ක්‍රීඩා විචාරකයින් අනුමාන කරනවා.

මීලඟ අජන්ත මෙන්ඩිස්

මහීෂ් තීක්ෂණ මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී මෙතෙක් ලබා ඇති කඩුළු ගණන 08ක්.

තරගාවලියේ කඩුළු ගණන අනුව තීක්ෂණට ඉහළින් පසුවන්නේ කඩුළු 09ක් ලබා සිටින බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් පමණ යි.

මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම කඩුළුලාභියා වන්නේ ද තීක්ෂණ යි.

මේ අතර ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ පන්දු යවන්නෙකුවන අජන්ත මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණට සමාන කරමින් සමාජ ජාල අතර බොහෝ සෙයින් විවිධ පළ කිරීම් දක්නට ලැබෙනවා.

ඒවායේ දක්නට ලැබෙන්නේ මහීෂ් තීක්ෂණ යනු මීලඟ අජන්ත මෙන්ඩිස් බව යි.

තීක්ෂණ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ සාමාජිකයෙකුවන අතර එහි දී ඔහුගේ  පුහුණුකරු වන්නේ ද අජන්ත මෙන්ඩිස්.

Rate this item
(0 votes)
Last modified on Sunday, 24 October 2021 07:31