May 07, 2024

ජාතික පාපන්දු පිලට ප්‍රථම වරට ද්විත්ව පුරවැසි ක්‍රීඩකයෙක්

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම මේ වන විට දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබේ.

ඒ 2022 කටාර් හි පවත්වන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන මූලික වටේ වටයේ තරග සඳහා සහභාගි වීමටය.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජූනි 5 වැනි දින ලෙබනන් කණ්ඩායම සමග ජූනි 9 වැනි දින දකුණු කොරියානු කණ්ඩායම සමඟත් තරග කිරීමට නියමිතය.

ක්‍රීඩකයින් 22 කින් යුත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සුවිශේෂත්වයක් දක්නට ලැබේ.

ඒ පළමු වරට ද්විත්ව පුරවැසිභාවය හිමි ක්‍රීඩකයෙකුද ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට නම් කොට තිබීමය.

ඒ 32 වැනි වියේ පසුවන පාපන්දු ක්‍රීඩක මාවින් හැමිල්ටන් - ඕමෝලේ (Marvin Hamilton - Omole) ක්‍රීඩකයාය.

මාවින් බ්‍රිතාන්‍ය සහ හා ශ්‍රී ලංකාව යන රටවල් දෙකේම පුරවැසිභාවය දරන්නෙකි.

ජාත්‍යන්තර පාපන්දු ලීග අත්දැකීම් සහිත ද්විත්ව පුරවැසිභාවය හිමි ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ජාතික පිලට කර ගැනීම සඳහා කලක සිටම ගත් උත්සාහය මල්ඵල ගැන්වීමක් ලෙස  මාවින් හැමිල්ටන් ශ්‍රී ලංකා ජාතික පිලට ක්‍රීඩා කිරීම විචාරකයින් පෙන්වා දෙයි.

ඔහුට අමතරව රීෆ් පිරීස් සහ දිලොන් ද සිල්වා යන ද්විත්ව පුරවැසිභාවය හිමි ක්‍රීඩකයින් දෙපළද මාවින් සමග මෙම සංචාරය සඳහා වූ ශ්‍රී ලංකා පාපන්දු මූලික සංචිතයට ඇතුළත් කොට තිබුණද අවසාන කණ්ඩායම සඳහා ඔවුන්ව තෝරාගෙන නොමැත.

මින් දිලොන් ද සිල්වා එංගලන්තයේ සුප්‍රසිද්ධ Queens Park Rangers (ක්වීන් පාර්ක් රේන්ජර්ස්) කණ්ඩායම හා සම්බන්ධව ක්‍රීඩා කරයි.

මෙවර ලෝක පාපන්දු ශූරතාවය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා සහභාගී වීමට ගිය ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම

 මාවින් හැමිල්ටන් - ඕමෝලේ තරඟයක් අතරතුර
Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 June 2021 20:33

Related items