April 26, 2024

බැංකුවක ගෑස් පිපිරීමක් - 15ක් මරුට (VIDEO)

December 19, 2021

පාකිස්තානයේ කරාචි නුවර දරුණු පිපිරීමක් සිදුව තිබෙනවා.

එරට මාධ්‍ය සඳහන් කළේ කරාචි නගරයේ බැංකුවක් ආසන්නව මෙම පිපිරීම හටගෙන ඇති බව යි.

පිපිරීමෙන් මේවන විට පුද්ගලයින් 15 දෙනෙකු මරණයට පත්ව ඇති බවත් මරණ ගණන තවදුරටත් ඉහළ යා හැකි බවත් වාර්තා වනවා.

එමෙන්ම තවත් 16 දෙනෙකු පමණ පිපිරීමෙන් තුවාළ ලබා ඇති බව ද සඳහන්.

පොලීසිය සැක කරන්නේ මෙය ගෑස් කාන්දුවකින් සිදුවූවක් බව යි.

කෙසේ වෙතත් මෙම පිපිරීම පිටුපස බෝම්බ ප්‍රහාරයක් පවතින්නේදැයි විමර්ශන සිදුකරන බව ද කරාචි පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

HBL (හබීබ් බෑන්ක් ලිමිටඩ්) නමැති බැංකු ගොඩනැගිල්ලක් ආශ්‍රිතව මෙම පිපිරීම සිදුව ඇති අතර එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

ගොඩනැගිල්ලේ සුන්බුන් ඊට ඔබ්බෙන් පිහිටි ඉන්ධන පිරවුම්හලකට ද පතිත වී ඇති නමුත් ඉන් එම පරිශ්‍රයට හානි සිදු වී නැහැ.

මේ අතර කරාචි පොලීසිය පවසන්නේ අදාළ බැංකු ගොඩනැගිල්ල යටින් භූගත ගෑස් නළ පද්ධතියක් ගමන් ගන්නා බව යි.

එම නළ පද්ධතියෙන් හටගත් ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම බොහෝදුරට සිදුවන්නට ඇති බවට යි පොලීසිය අනුමාන කරන්නේ.

කෙසේ වෙතත් පාකිස්තානය තුළ ත්‍රස්තවාදය සහ සන්නද්ධ කණ්ඩායම් සක්‍රීයව ක්‍රියාත්මක බැවින් මෙය පිටුපස සංවිධානාත්මක ක්‍රියාවක් ඇත්දැයි පරීක්ෂා කරමින් පවතින බව පොලීසිය පැවසුවා.

ඒ සඳහා පිපිරීම සිදු වූ ස්ථානය වෙත පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයින් ද පැමිණ ඇති බව යි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 19 December 2021 10:50