March 19, 2024

මිනිසුන් වෛරසයට පරදියිද? මෙතෙක් ලොව හමුවූ දරුණුතම කොවිඩ් ප්‍රභේදය මතු වෙයි!

November 26, 2021

ගෝලීය වශයෙන් තරමක් සමනය වෙමින් තිබූ කොවිඩ් වෛරස අවදානම, මෙම වසංගතයේ මුල් සමයේ මෙන්ම යළි ඉහළ නැගිය හැකි බවට අනාවැකි පළ වෙමින් පවතිනවා.

ඒ නව කොවිඩ් 19 වෛරස ප්‍රභේදයක් හමු වීමත් සමග යි.

B.1.1.529 ලෙස නම් කොට ඇති මෙම නව ප්‍රභේදයට මෙතෙක් ග්‍රීක අක්ෂර නාමයක් (ඇල්ෆා සහ ඩෙල්ටා වැනි) ලබා දී නැහැ.

විද්‍යාඥයින් පවසන්නේ මෙතෙක් හමුව ඇති විකෘති ප්‍රභේදවලින් වඩාත් වැඩි වශයෙන් විකෘති වී ඇති ප්‍රභේදය වන්නේ මෙය බව යි.

බරපතළම කරුණ වන්නේ මෙතෙක් හමුව ඇති කොවිඩ් 19 වෛරස ප්‍රභේදයන් සියල්ලම හා සැසඳූ විට මෙම නව B.1.1.529 ප්‍රභේදය ලොව දරුණුතම සහ භයානකම කොවිඩ් 19 වෛරස ප්‍රභේදය ලෙස මේවන විටත් විද්‍යාඥයින් විසින් හඳුන්වා තිබීම යි.

මෙම ප්‍රභේදය හඳුණාගත් මුල් අවස්ථාවේ දී එය සීමාගත වී තිබුණේ දකුණූ අප්‍රිකාවේ එක් පළාතකට වුවත්, මේවන විට එය රටවල් කිහිපයක්ම වෙත පැතිර ගොස් තිබෙනවා.

මේ අතර එහි විකෘති ප්‍රමාණය ඉහළ අගයක් ගැනීම හේතුවෙන් විද්‍යාඥයන් පවා පුදුමට පත්ව ඇති බව සඳහන්.

දකුණූ අප්‍රිකානු වසංගත ප්‍රතිචාර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ටූලියෝ දි ඔලිවේරා මහතා පවසන්නේ මෙම ප්‍රභේදයේ ඇත්තේ අසාමාන්‍ය විකෘති ප්‍රමාණයක් බව යි.

එමෙන්ම මෙතෙක් ලොව පුරා වාර්තා වූ ප්‍රභේද සමග සැසඳීමේ දී බොහෝ වෙනස්කම් මෙම නව ප්‍රභේදයෙහි දක්නට ඇති බව ද ඔහු පවසනවා.

“මේ ප්‍රභේදය අපිව පුදුමයට පත් කළා. වෛරසයේ පරිණාමය අතින් ගත් විට මෙය ලොකු පිම්මක්. මේ සොයාගැනීමත් සමග ඉදිරි කාලයේ දී පැමිණිය හැකි තවත් විකෘති ප්‍රභේද ගණනාවක් පිළිබඳව අපි බලාපොරොත්තු විය යුතු වනවා”

මහාචාර්ය ඔලිවේරා වැඩිදුරටත් පවසන්නේ නව ප්‍රභේදය තුළ විකෘති 50ක් මෙතෙක් සොයාගෙන ඇති බව යි.

ඉන් 30කටත් වඩා වෛරසයේ “ස්පයික් ප්‍රෝටීනවල” සිදුව ඇති බව ඔහු පෙන්වා දෙනවා.

කොවිඩ් 19 වෛරසය මිනිස් සිරුරෙහි සෛල සමග සම්බන්ධ වී සිරුරට ඇතුළු වීමට භාවිත කරන්නේ මෙම ස්පයික් ප්‍රෝටීන යි.

එමෙන්ම නිපදවා ඇති කොවිඩ් මර්ධන එන්නත් බොහොමයක ඉලක්කය ද වෛරසය වටා පවතින ස්පයික් ප්‍රෝටීන වනවා.

මෙවන් තත්ත්වයක් මත නව ප්‍රභේදයේ ස්පයික් ප්‍රෝටීනවල සිදුව ඇති විකෘතිතා ලෝකයට දරුණු බලපෑම් එල්ල කළ හැකි බවට යි මත පළව තිබෙන්නේ.

මීට පෙර ලෝකය පුරා පැතිර ගොස් ජීවිත විශාල ගණනක් බිළිගත් ඩෙල්ටා ප්‍රභේදයේ ස්පයික් ප්‍රෝටීන විකෘතිතා පැවැතුණේ 02ක් පමණයි.

විකෘති 02ක් හේතුවෙන් සිදු වූ විනාශය ගණන් බලන විට ස්පයික් ප්‍රෝටීන විකෘතිතා 30කට වඩා පවතින නව ප්‍රභේදය ලොව පුරා ව්‍යාප්ත වුවහොත් කොපමණ විනාශයක් සිදු කරයිදැයි තමන් හට සිතා ගැනීමට ද නොහැකි බව ඇතැම් විද්‍යාඥයින් බිය පළ කරනවා.

මෙවන් මට්ටමක විකෘති ගොන්නකින් යුතු නව ප්‍රභේදය ආසාදනය වුවහොත් එය මර්ධනය කර ජය ගන්නට මිනිස් සිරුරෙහි ප්‍රතිශක්තීකරණ පද්ධතියට බෙහෙවින් අසීරුවනු ඇති බව ද ඔවුන් පවසනවා.

චීනයේ වූහාන් ප්‍රදේශයෙන් හමු වූ කොවිඩ් 19 මුල් වෛරසය ඉලක්ක කොටගෙන මේවන විට භාවිතයේ පවතින එන්නත් සියල්ලම පාහේ නිපදවා ඇති හෙයින් මේ මට්ටමේ විකෘති ගොන්නක් සමග පැමිණෙන නව ප්‍රභේදය එම එන්නත්වලට ද මැඩපැවැත්විය නොහැකිවනු ඇති බවට ද විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

මේවන විට (2021 නොවැම්බර් 26) දකුණූ අප්‍රිකාවේ “ගෞටෙං” පළාතෙන් B.1.1.529 ප්‍රභේදය ආසාදනය වූ බවට හරියටම තහවුරු කරගත් පුද්ගලයින් 77 දෙනෙකු හමු වී තිබෙනවා.

තවත් ආසාදිතයින් 04 දෙනෙකු බොට්ස්වානාවෙන් හමුව ඇති අතර වඩාත් භයානක පුවත වන්නේ එක් ආසාදිතයෙකු හොං කොං නුවරින් හමුව තිබීම යි.

හොං කොං නුවරින් හමුවූ පුද්ගලයා දකුණු අප්‍රිකාවේ සිට පැමිණියෙකු බව මේවන විට අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් මේ අනුව නව ප්‍රභේදය ලොව පුරා පැතිර යාම ආරම්භ වී ඇති බව පැහැදිළි කරුණක්.

එමෙන්ම නිල වශයෙන් වාර්තා නොවූ නව ප්‍රභේදයේ ආසාදිතයින් ලොව පුරා විවිධ රටවල්වල සිටිය හැකි බවට ද විද්‍යාඥයින් පවසනවා.

මේ අතර මෙම නව ප්‍රභේදය සිය රට තුළට ඒම වැළැක්වීම සඳහා අප්‍රිකානු රටවල් 07කින් පැමිණෙන ගුවන් යානාවලට තහනමක් පැනවීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ, බොට්ස්වානාව, ලෙසොතෝව සහ එස්වාටිනිය යන රටවල්වලින් පැමිණෙන කිසිම ගුවන් යානයක් එක්සත් රාජධානිය තුළට ඇතුල් කරගැනීම සිදු නොකරනු ඇති.

එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම්වරයා පවසන්නේ නව ප්‍රභේදය පිළිබඳව විද්‍යාඥයින් තවදුරටත් තොරතුරු රැස් කළ යුතු බවට යි.

මේ අතර නව ප්‍රභේදය පැතිර යාමේ අවදානම සැළකිල්ලට ගෙන දකුණූ අප්‍රිකාව, බොට්ස්වානාව සහ හොංකොං සිට පැමිණෙන ගුවන් මගීන් පිළිබඳ තීරණයක් ගත යුතු බවට ඉන්දියාව ද අවධානය යොමු කොට තිබෙනවා.

UPDATE: ඔමික්‍රෝන් ප්‍රභේදය ලොව වටා පැතිරීම ඇරඹෙයි

Rate this item
(0 votes)
Last modified on Sunday, 28 November 2021 07:09