March 19, 2024

ඔමික්‍රෝන් ප්‍රභේදය ලොව වටා පැතිරීම ඇරඹෙයි

November 28, 2021

දකුණු අප්‍රිකානු විද්‍යාඥයන් ප්‍රථමයෙන්ම සොයාගත් B.1.1.529 නව කොවිඩ් 19 වෛරස ප්‍රභේදය “ඔමික්‍රෝන්” (Omicron) ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කළා.

මෙතෙක් හමුව ඇති කොවිඩ් 19 වෛරස ප්‍රභේදයන් සියල්ලම හා සැසඳූ විට මෙම ඔමික්‍රෝන් ප්‍රභේදය ලොව දරුණුතම සහ භයානකම කොවිඩ් 19 වෛරස ප්‍රභේදය ලෙස මේවන විටත් විද්‍යාඥයින් විසින් හඳුන්වා තිබෙනවා.

එමෙන්ම විද්‍යාඥයින් පවසන්නේ මෙතෙක් හමුව ඇති විකෘති ප්‍රභේදවලින් වඩාත් වැඩි වශයෙන් විකෘති වී ඇති ප්‍රභේදය වන්නේ මෙය බව යි.

ව්‍යාප්තිය ඇරඹෙයි

දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් විසින් ඔමික්‍රෝන් ප්‍රභේදය හඳුණාගත්තේ නොවැම්බර් 09 වැනිදා වුවත් ඒ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය නිළ වශයෙන් හඳුණාගත්තේ නොවැම්බර් 24 වැනි දා යි.

ඒ දකුණු අප්‍රිකාවෙහි පැතිර යමින් තිබියදි යි.

කෙසේ වෙතත් දින තුනක්, හතරක් තුළ එය මේවන විට රටවල් ගණනාවකින් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේවන විට ඔමික්‍රෝන් ප්‍රභේදය රටවල් ගණනාවක් වෙත පැතිර යාම ආරම්භ වී ඇති බව පැහැදිළි කරුණක්.

හොංකොං, බොට්ස්වානාව, බෙල්ජියම, චෙක් ජනරජය, ජර්මනිය සහ ඊශ්‍රායලය එම රටවල් අතර වනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදය රටතුළට පැමිණ ඇති බවට හඳුණාගත් රටවල් මේවා වුවත්, මේවන විටත් එම ප්‍රභේදය සිය රට තුළට ඇතුළු වී ඇති නමුත් එය හඳුනා නොගෙන ඇති රටවල් ගණන ඉතා වැඩි ගණනක් විය හැකි බව සෞඛ්‍ය අංශ මත පළ කරනවා.

ගුවන් සීමා දැඩි කරයි

මෙවන් තත්ත්වයක් මත තම රටවල් තුළට ඔමික්‍රෝන් ප්‍රභේදය ඇතුළු වීම වැළැක්වීමේ ආරක්ෂිත පියවරක් ලෙස රටවල් රැසක් දකුණු දිග අප්‍රිකානු රටවල් කිහිපයකටම සංචාරක සීමා පනවා තිබෙනවා.

ඒ යටතේ දකුණූ අප්‍රිකාව ඇතුළු අප්‍රිකා මහාද්වීපයේ දකුණූ දිග රටවල් සිට පැමිණෙන කිසිවෙකු ඇතුළු නොකරගැනීමටයි අදාළ රටවල් පියවර ගෙන ඇත්තේ.

එවන් සීමා පනවා ඇති රටවල් අතර එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, ජපානය, ඉන්දියාව, ඉරානය, බ්‍රසීලය, කැනඩාව, තායිලන්තය සහ යුරෝපා සංගමය ඇතුළත්.

එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදය ද ඒ ආකාරයේ සීමා දකුණු දිග අප්‍රිකානු රටවල්වලට පැනවීම කෙරෙහි අවධානය යොමු කොට තිබෙනවා.

කියවන්න: ඔමික්‍රෝන්ගෙන් බේරෙන්න ලංකාවත් තීරණයක් ගනියි!

අධික විකෘති ගණනක්

එහි විකෘති ප්‍රමාණය ඉහළ අගයක් ගැනීම හේතුවෙන් විද්‍යාඥයන් පවා පුදුමට පත්ව ඇති බව සඳහන්.

දකුණූ අප්‍රිකානු වසංගත ප්‍රතිචාර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ටූලියෝ දි ඔලිවේරා මහතා පවසන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය තුළ විකෘති 50ක් මෙතෙක් සොයාගෙන ඇති බව යි.

ඉන් 30කටත් වඩා වෛරසයේ “ස්පයික් ප්‍රෝටීනවල” සිදුව ඇති බව ඔහු පෙන්වා දෙනවා.

කොවිඩ් 19 වෛරසය මිනිස් සිරුරෙහි සෛල සමග සම්බන්ධ වී සිරුරට ඇතුළු වීමට භාවිත කරන්නේ මෙම ස්පයික් ප්‍රෝටීන යි.

එමෙන්ම නිපදවා ඇති කොවිඩ් මර්ධන එන්නත් බොහොමයක ඉලක්කය ද වෛරසය වටා පවතින ස්පයික් ප්‍රෝටීන වනවා.

මෙවන් තත්ත්වයක් මත නව ප්‍රභේදයේ ස්පයික් ප්‍රෝටීනවල සිදුව ඇති විකෘතිතා ලෝකයට දරුණු බලපෑම් එල්ල කළ හැකි බවට යි මත පළව තිබෙන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 28 November 2021 09:51