April 27, 2024

එලෝන් මස්ක්ට “Anonymous” හැකර්වරුන්ගෙන් තර්ජනයක්

ලෝකයේ ප්‍රසිද්ධ හැකර් සමූහයක් වන “ඇනොනිමස් (Anonymous) ” හැකර්වරුන් විසින් ලෝක ප්‍රසිද්ධ තාක්ෂණික දැවැන්තයෙකු මෙන්ම ලෝක බිලියනපති ලැයිස්තුවේ දෙවැනි තැන සිටින එලෝන් මස්ක්ට දැඩි තර්ජනයක් කර තිබෙනවා.

මෙම තර්ජනයට හේතුව වී තිබුණේ එලෝන් විසින් දිගින් දිගටම ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ අන්තර්ජාල මුදල් ඒකකයක් වන “බිට්කොයින් (Bitcoin)” සම්බන්ධව සිදු කරන ප්‍රකාශයන් ය.

පසුගිය කාලය පුරාවටම බිට්කොයින් සම්බන්ධව එලෝන් විසින් පළ කරන ලද ට්විටර් සටහන් හරහා එම ක්‍රිප්ටෝකරන්සිස් (Cryptocurrencies) වෙළෙඳපොළට දැඩි බලපෑමක් කරමින් සිටින බව මෙම හැකර්වරුන් විසින් චෝදනා කරනවා.

මස්ක් මීට පෙර ගුප්ත කේතනය කළ මෙම මුදල් ඒකකයන් අන්තර්ජාලය තුළ ප්‍රවර්ධනය කළ පුද්ගලයෙකු වී සිටියා. නමුත් දැන් ඔහු විසින් මෙම කේතනය කළ මුදල් ඒකකයන් තමන්ගේ ව්‍යාපාරය සඳහා යොදා ගැනීමටත් ටෙස්ලා මෝටර් රථ මිලදී ගැනීම සඳහා භාවිත කළ හැකි බවත් පවසා තිබුණත් පසුව එම අදහස් ඔහු ඉවත දමා තිබුණා.

මෙම සිදුවීම හේතුවෙන් බිට්කොයින් වෙළෙඳපොළට යම් බලපෑමක් වුණු බවට බොහෝ දෙනෙකු පවසා තිබුණා. එමෙන්ම බිට්කොයින් වෙළෙඳපොළේ කඩා වැටීම එලෝන් මස්ක් විසින් දිගින් දිගටම හාස්‍යයට ලක් කරන ආකාරයද දැකගන්නට හැකි.

හැකර්වරුන් පවසා සිටින්නේ පොහොසත් පවුලක ඉපදුණු පුද්ගලයෙකු ලෙස එලෝන් මස්ක් හට දුක් විඳිමින් ජීවිතය ජය ගන්නට හදන වැඩ කරන පිරිසගේ වේදනාවන් නොතේරන බවයි. ඔහුගේ ප්‍රකාශයන් සම්බන්ධව හැකර්වරුන් දැඩි කලකිරීමකින් සිටින බවද පවසා තිබුණා.

ඔහු මෙම දේ දිගින් දිගටම සිදුකළහොත් ඔහු ලෝකයාට පෙන්වමින් සිටින මුහුණ නොව ඔහුගේ සැබෑව ලෝකයටම අනාවරණය කරන බව මෙම හැකර්වරුන් විසින් තර්ජනාත්මකව පවසා තියෙනවා. 

එමෙන්ම මෙම හැකර්වරුන් පවසා සිටියේ එලෝන් මස්ක් සතුව විදේශීය රටක ලීතියම් මුලද්‍රව්‍ය ගැනීම සඳහා පතලක් ඇති බවත් ඒවායේ දරුවන් සේවකයින් ලෙස වැඩ කරන බවයි.

එලෝන් මස්ක් යනු ඔහු පිටට පෙන්වන කෙනා නොවන බව පවසන මෙම හැකර්වරුන් ඔහු එය ආවරණයකින් වසාගෙන සිටින බවත් මෙම හැකර්වරුන් කියා සිටින අතර ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ මස්ක්ට දැන් ඔහුගේ සැබෑම අභියෝගයක හමුව ඇති බව පවසමිනි.

Rate this item
(1 Vote)