April 25, 2024

කොරෝනා ගැන රහස් අරගෙන චීන බුද්ධි අංශ ලොක්කා ඇමෙරිකාවට පලා යයි?

චීනයේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති මෙන්ම ප්‍රති බුද්ධි අංශ ප්‍රධානියා විසින් සිය දියණිය සමඟ ඇමෙරිකාව වෙත පලා ගොස් ඇති බවට මතයක් මේ වන විටත් සංසරණය වෙමින් තිබෙනවා.

මෙලෙස පලා ගියා යැයි සැක කරන්නේ රාජ්‍ය ආරක්ෂක උප ඇමති ඩොන්ග් ජින්ග්වේ ය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය බොහෝමයක් වාර්තා කර තිබුණේ චීන බුද්ධි අංශ තුළ සිටි ඉහළම නිලධාරියෙකු වන ඩොන්ග් විසින් කොරෝනා වෛරසයේ මුලාරම්භය පිළිබඳව වැදගත් තොරතුරු සමඟ හොංකොං සිට ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිහින් ඇති බවයි.

ඇමෙරිකාව විසින් කොරෝනා වෛරසය විද්‍යාගාරයකින් කාන්දු වුණු බවට වන මතවාදය සම්බන්ධයෙන් බුද්ධි අංශ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති මොහොතක මෙම සිදුවීම වාර්තා වීමද විශේෂත්වයක්.

ප්‍රධානී ඩොන්ග් විසින් සැබැවින්ම මෙලෙස චීනයේ රහස් තොරතුරු රැගෙන පලාගියා නම් ඔහු චීනයට එරෙහිව විශාලතම හෙළිදරව්ව කරන ලද පුද්ගලයා බවටද පත්වීමට ඉඩ ඇති බවද දේශපාලන විචාරකයින් පවසා සිටිනවා.

කෙසේ වෙතත් මෙම පලා ගොස් ඇති බවට වන මතය සම්බන්ධයෙන් චීනය විසින් හෝ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කිසිදු ආකාරයක තහවුරු කිරීමක් සිදුනොකර ඇති බවට “ද ටෙලිග්‍රාප්” පුවත්පත වාර්තා කරනවා.

හිටපු ජනපති ඩොලන්ඩ් ට්‍රම්ප් පාලන සමය තුළදී කොරෝනා වෛරසය විද්‍යාගාරයකින් කාන්දු වූ බවට වන චෝදනාව එල්ල කරන ලද අතර එය හුදු කටකතාවක් පමණක් බවට ප්‍රකාශ කර අතර ට්‍රම්ප් පරිපාලනය විසින් එය සිය දුර්වලතාවය වසා ගැනීම සඳහා ගොතන ලද කතාවක් පමණක් බවටද එකළ අදහස් පළ වුණා.

නමුත් දැන් ජෝ බයිඩන් පරිපාලනය විසින් ද මෙම විද්‍යාගාර කාන්දුව පිළිබඳව පරික්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. ජෝ බයිඩන් ජනාධිපතිවරයා එරට බුද්ධි අංශ වෙත පවසා තිබුණේ දින 90ක් තුළ වාර්තාවක් සකස් කරලා ඉදිරිපත් කරන්න කියලයි.

බුද්ධි අංශ නිලධාරීන් මෙම වාර්තාව සකස් කිරීම ගැන කියලා තිබුණේ පිදුරු ගොඩක ඉඳිකටුවක් සොයනවා වගේ වැඩක් කියලයි. ඒ අතර මෙම චීන රාජ්‍ය නිලධාරියාගේ පලා යෑම සම්බන්ධ සිදුවීම වාර්තා වීමත් විශේෂත්වයක්.

ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලන සමයේ දී විද්‍යාගාර කාන්දුව පිළිබඳව පරික්ෂණ පැවැත්වූ රාජ්‍ය නිලධාරියෙකු විසින් “ද ටෙලිග්‍රාප්” පුවත්පත වෙත පවසා තිබුණේ මෙලෙස විවිධ තොරතුරු සොයා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක් සමඟ පුරවැසි භාවය ලබා දෙන්නේ නම් ඕනෑම තොරතුරක් හෙළි කිරීම සඳහා සුදානම් පිරිස් ලෝකය පුරා සිටිනවා කියලයි.

ඔහු පවසා සිටියේ මෙම විද්‍යාගාර කාන්දුව පිළිබඳව සොයා ගැනීමට නම් චීන ජාතිකයන්ගෙන් ඍජුව ප්‍රශ්න කර සාක්ෂි රැස් කළ යුතු බවත්, බුද්ධි අංශ තොරතුරු රැස්කර ගැනීමට අවශ්‍ය බවත් පවසා සිටියා. මෙය විද්‍යාගාර කාන්දුවක් යැයි කීමට අවශ්‍ය කරන සාක්ෂි සාධක තිබෙන බවද ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කළා.

ඔහු අවසාන වශයෙන් සඳහන් කර සිටියේ චීනය මෙම විද්‍යාගාර කාන්දු මතය යට ගැසීම සඳහා කටයුතු කරමින් ඉන්නවා කියලා. ඔවුන් ඉතාමත් සූක්ෂම ලෙස කරුණු යටපත් කරගෙන ඉන්න බව පැවසූ හිටපු රාජ්‍ය නිලධාරියා විසින් පවසා සිටියේ බ්‍රිතාන්‍යයේ විද්‍යාගාරයකින් මෙම වෛරසය කාන්දු වූවා නම් එය පහසුවෙන් විසඳුමක් සඳහා කටයුතු කළ හැකි දෙයක් වුණත් චීනයත් සමඟ එම ක්‍රියාවලිය සිදුකළ නොහැකි බවයි.

Rate this item
(1 Vote)