May 06, 2024

06 වසරේ පාසල් දැරියගේ පාසල් බෑගයේ ගිනි අවියක්! පණ බේරාගන්න පැන ගිය මිතුරන්ට වෙඩි තබලා

ඇමෙරිකාවේ ඉඩාහෝ ප්‍රාන්තයේ රිග්බි හී පිහිටි කණිෂ්ඨ පාසලක් වෙත අවුරුදු 12ක පමණ දැරියක් ගිනි අවියක් රැගෙනවිත් වෙඩි තැබීමක් සිදුකර තිබේ.

මෙම දැරියගේ අනන්‍යතාවය හෙළි නොකර ඇති අතර ඇය එම පාසලේ 06 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇති බව සඳහන් වෙයි.

මෙම වෙඩි තැබීම හේතුවෙන් ඇයගේ පංතියේ සිටි සිසුවෙකු හා සිසුවියක් මෙන්ම පාසල් ගුරුවරයෙකු ද වෙඩි වැදී රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙයි.

එම පාසලේ තවත් ගුරුවරියක් විසින් සිසුවියගේ ඇඟට පැන ගිනි අවිය දැරියගෙන් ඉවත් කර පොලීසිය පැමිණෙන අනතුරු අල්ලාගෙන සිටීමට සමත්ව තිබේ.

වෙඩි තැබීමට හේතුව තවමත් අනාවරණය වී නැති අතර ඉඩාහෝ පොලීසිය විසින් සහ එෆ්.බී.අයි විසින් පරික්ෂණ ආරම්භ කර තිබේ.

පොලීසිය විසින් කරන ලද මුලික පරික්ෂණවලින් අනාවරණය කරගෙන තිබුණේ මෙම සිදුවීමට සම්බන්ධ ශිෂ්‍යාව විසින් පාසල් බෑගයේ මෙම ගිනි අවිය දමාගෙනවිත් ඇති බවත් ඇය ගිනි අවිය ගෙන පාසලේ පිටත සහ ඇතුළත වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බවයි.

සිද්ධිය ඇසින් දුටු එක් සිසුවෙකු විසින් සඳහන් කර සිටියේ තමන් ඇතුළු අනිකුත් සිසුන් එම අවස්ථාවේ සිය ගුරුවරයා සමඟ පංතියේ පාඩමක් කරමින් සිටි බවත් එක්වරම විශාල ශබ්ද කිහිපයක් ඇසුණු බවයි. ඉන්පසුව පිරිසක් විසින් කෑගසන හඬද ඇසුණු බවත්, සිය ගුරුවරයා පංතියෙන් එළියට යන අවස්ථාවේ සෑම තැනකම ලේ ඇති බව දැක තිබුණු බවද සිසුවා විසින් සඳහන් කර සිටියේය. 

මෙම සිදුවීමත් සමඟ ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් විසින් ක්‍රියාත්මක කිරීමට සිටි ගිනි අවි තහනම බලාත්මක කිරීම ඉක්මණ් කර ඇති බවද සඳහන් වෙයි. ඇතැම් තුවක්කු සඳහා නීති රීති සැකසීම, පසුබිම් පරීක්ෂාවන් ශක්තිමත් කිරීම සහ ප්‍රාදේශීය හිංසනය වැළැක්වීමට සහාය වීම ඊට ඇතුළත් ය.

Rate this item
(0 votes)
Last modified on Friday, 07 May 2021 08:32