April 27, 2024

‘චන්ද්‍රිකා’ නිසා ලෝක තාක්ෂණික දැවැන්තයන් දෙදෙනා අතර උණුසුම් තත්ත්වයක්

ලෝකයේ ධනවත්ම පුද්ගලයින් දෙදෙනා මෙන්ම තාක්ෂණික දැවැන්තයින් දෙදෙනා වන එස්පේස් - එක්ස් සහ ටෙස්ලා සමාගම්වල හිමිකරු එලෝන් මස්ක් සහ ඇමසෝන් ව්‍යාපාරයේ හිමිකරු ජෙෆ් බෙසොස් අතර ඔවුන්ගේ ව්‍යාපෘති දෙකක් සම්බන්ධයෙන් උණුසුම් සටනක පැටලී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අන්තර්ජාල සබඳතා පුළුල් කිරීමේ අරමුණින් මෙම ආයතනයන් දෙක වන ස්ටාර් ලින්ක් සහ ඇමසෝන් විසින් නිර්මාණය කර තිබෙන චන්ද්‍රිකා පද්ධතින් දෙක සම්බන්ධයෙන් මෙම අර්බුදය හටගෙන තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව ඉදිරියේ එලෝන් සිය චන්ද්‍රිකා පද්ධතිය වන ස්ටාර් ලින්ක් පද්ධතියට පෘථිවියේට ආසන්න වායුගෝලයට ගෙන ඒම සඳහා අවසර ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින අවස්ථාවක ඇමසෝන් විසින් සිය විරුද්ධත්වය එයට ප්‍රකාශ කරමින් සිටියි.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා පද්ධතිය විසින් සිය චන්ද්‍රිකා පද්ධතියට බාධා ඇතිවනු ඇති බවයි. එමෙන්ම මේ නිසාම ඇමසෝන් චන්ද්‍රිකා ව්‍යාපෘතිය වන කුයිපර් චන්ද්‍රිකා සමඟ ස්ටාර් ලින්ක් චන්ද්‍රිකා ගැටීමේ අවදානමක් ඇති බවද ඔවුන් සඳහන් කර තිබුණි.

ස්ටාර්ලින්ක් ව්‍යාපෘතිය මඟින් මේ වන විට චන්ද්‍රිකා 1,000ක් පමණ කක්ෂගත කර ඇති අතර එම චන්ද්‍රිකාවලින් සපයන අන්තර්ජාල සම්බන්ධතා හැකියාවන් ඉතා ඉහළ මට්ටමක පවතින බවද වාර්තා වෙයි. මේ වන විට මෙම චන්ද්‍රිකා පද්ධතිය බීටා මට්ටමේ පරික්ෂණවල ඇති බවට සඳහන් වන අතර මෙම චන්ද්‍රිකාවලින් අන්තර්ජාලය ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන විශේෂ ඇන්ටනා ලබා ගත් සිමීත පුද්ගලයින් ප්‍රමාණයකට පමණක් මේ වන විට අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දීමට තීරණය කර තිබේ.

ඇමසෝන්වලට අයත් කුයිපර් චන්ද්‍රිකා 3,236ක් සඳහා ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව විසින් අවසරය හිමිව ඇති අතර මේ වනතෙක් එම චන්ද්‍රිකා කක්ෂගත කර නොමැති බව සඳහන් වෙයි.

Rate this item
(1 Vote)