April 27, 2024

ලෝකයේ සාර්ථකම කොවිඩ් එන්නත හැදූ ෆයිසර් සමාගමේ ප්‍රධානීයා තවම එන්නත අරගෙන නැහැ - හේතුව මෙන්න

December 16, 2020

ලොව විශාලතම ඖෂධ නිෂ්පාදන ආයතනයක් වන සහ ලොව දැනට සාර්ථකම කොවිඩ්-19 සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත නිර්මාණය කළ ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇල්බට් බෝර්ලා තවමත් එම එන්නත ලබාගෙන නොමැති බව වාර්තා වෙයි. 

පසුගිය සඳුදා දිනයේ සිට තමා සහ අනෙකුත් විධායක නිලධාරීන් එක්ව ෆයිසර් - බයෝ එන්ටෙක් එන්නත ඇමෙරිකාව පුරා බෙදා හැරීමට දැවැන්ත උත්සාහයක් ගන්නා බැවින් ඔහු සහ අනෙකුත් නිලධාරීන් එක්ව එම ක්‍රියාවලියට සහයෝගයක් දීම සඳහා තවමත් එන්නත ලබා ගෙන නොමැති බවට ෆයිසර් සමාගමේ ප්‍රධානී ඇල්බට් බෝර්ලා අවධාරණය කර තිබේ.

ජර්මනිය පදනම් කරගත් බයෝ එන්ටෙක් සමඟ එක්ව ෆයිසර් ආයතනය නිපදවන ලද මෙම එන්නත කොවිඩ් -19 වැළැක්වීම සඳහා එක්සත් ජනපදයේ හදිසි භාවිතය සඳහා මේ වන විටත් අනුමැතිය ලබා දී තිබේ.

අවුරුදු 16 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා එන්නත සඳහා ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය ඒජන්සිය විසින් පසුගිය සිකුරාදා (11) දිනයේ දී අවසර ලබා දී ඇති අතර, එරට රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් පසුගිය ඉරිදා (13) දිනයේදී එය නිල වශයෙන් නිර්දේශ කරන ලදී.

 ඇල්බට් බෝර්ලා විසින් CNBC නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුණේ තමන් කැමරාවක් ඉදිරියේ සිට මෙම එන්නත ලබාගත්තේ නම් බොහෝ පිරිසක් මෙම එන්නත ලබා ගැනීමට සුදානම් වනු ඇති බවයි. නමුත් තමන් කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ඇති සෞඛ්‍ය සේවා අංශයක නිලධාරියෙකු හෝ වෙනත් අත්‍යවශ්‍ය සේවාවක නිරත වන්නෙකු නොවන නිසා තමන්ට එන්නත ලබා ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බවද ඔහු පවසා තිබේ.

තමන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පවසන විධායක නිලධාරීයා කියා සිටියේ තමන්ගේ අනිකුත් විධායක නිලධාරීන්ද යහපත් තත්ත්වයෙන් පසුවන බැවින් එරට රජය විසින් පනවා ඇති ප්‍රමුඛතා ලැයිස්තුව උල්ලංඝනය කරමින් එන්නත ලබා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

එම මාධ්‍ය සාකච්ඡාවේදී "විද්‍යාව විශ්වාස කරන්න" යැයි බෝර්ලා ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටි අතර ඔවුන්ගේ වයස සහ රැකියාව මත පදනම්ව සුදුසු අවස්ථාවලදී එන්නත් ලබා ගැනීමට හැකිවනු ඇති බවට පවසමින් එරට පුරවැසියන්ව සැනසීමටද කටයුතු කළේය.

Rate this item
(1 Vote)