May 20, 2024

“උතුරු කොරියානු නායකයා මැරයෙක්” - බයිඩන්ගේ උතුරු කොරියානු ප්‍රතිපත්තිය මෙන්න

November 09, 2020

ඩිමොක්‍රටික් අපේ්ක්ෂක ජෝ බයිඩන් ඇමෙරිකාවේ 46 වෙනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීමෙන් අනතුරුව බොහෝ දෙනා බලා සිටින්නේ ජෝ බයිඩන්ගේ විදෙස් ප්‍රතිපත්තිය කුමක් වේවිදැයි යන්නයි.

උතුරු කොරියානු අර්බුදය ඇති වූ අවස්ථාවේ ඇමෙරිකාවේ වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උතුරු කොරියානු නායකයා වෙත ලියුම් ලියමින් සම්බන්ධතාවයක් ගොඩ නඟා ගත් අතර පසුව ඔවුන් දෙදෙනා රාජතාන්ත්‍රිකව හමු වී අදහස් ද හුවමාරු කර ගත්තේය.

නමුත් ජෝ බයිඩන් තුළ ඇත්තේ උතුරු කොරියාව පිළිබඳව වෙනස්ම අදහසක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඇමෙරිකානු ජනාධිපතිවරණයට පෙර පැවැති විවාදයකදී රිපබ්ලිකන් අපේක්ෂකයා සහ ඩිමොක්‍රටික් අපේක්ෂකයා අතර විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධව විවාදයේ දී අදහස් දක්වමින් ජෝ බයිඩන් විසින් උතුරු කොරියානු නායක කිම් ජෝන්ග් වුන්ව මැරවරයෙකු ලෙසද ප්‍රකාශ කළේය.

විදෙස් විචාරකයන් පෙන්වා දෙන්නේ ජෝ බයිඩන් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කළ විදෙස් ප්‍රතිපත්තිය බොහෝ ලෙස ඉවත දමනු ඇති බවත් ඒ වෙනුවට සම්ප්‍රදායික ප්‍රතිපත්තිම අනුගමනය කරනු ඇති බවයි.

සමහර විචාරකයන්ට අනුව බොහෝ විට බැරක් ඔබාමා අනුගමන කළ උපායමාර්ගික ක්‍රමවේදයන් බොහෝ විට ජෝ බයිඩන්ද අනුගමන කරනු ඇතැයි සඳහන්.

ජෝ බයිඩන් උතුරු කොරියාව සමඟ සාකච්ඡාවට එළැඹුනත් එය බොහෝ විට න්‍යෂ්ටික අවි සම්බන්ධව පමණක් වනු ඇති බවත්, එය ට්‍රම්ප් සහ උතුරු කොරියාව අතර තිබූ සමීප සම්බන්ධය වැනි සම්බන්ධයක් නොවනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

2019 වසරේ දී ජෝ බයිඩන් විසින් උතුරු කොරියානු නායකයාට අපහාසත්මක ආකාරයෙන් චෝදනා කර තිබූ අතර එයට පිළිතුරු ලෙස උතුරු කොරියාව විසින් ජෝ බයිඩන් යනු දරුණු සුනඛයෙකු බවත් දුටු තැන පහර දිය යුතු බවත් ප්‍රකාශ කර තිබුණි.

ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් උතුරු කොරියාව විසින් සිදු නොකර තිබීමද විශේෂත්වයකි.

Rate this item
(1 Vote)