May 20, 2024

ඡන්ද ගණනය නවත්වන්න කියා ට්‍රම්ප් නඩු පිට නඩු දමයි

November 05, 2020

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ උණුසුම් බව එය ආරම්භ වූ දිනයේ සිටම දිනෙන් දින ඉහළ යමින් තිබේ.

ඡන්ද ගණන ආරම්භ වූ අවස්ථාවේ අපේක්ෂකවරුන් දෙදෙනාගේම ඡන්ද බලය ප්‍රදර්ශනය වූ අතර ඇමෙරිකාවේ ඡන්ද ප්‍රතිඵලයක ඍජුවම බලපෑම් කළ හැකි ප්‍රබල ප්‍රාන්ත කිහිපයකම ඔවුන් දෙදෙනා අතර උණුසුම්කාරී අවස්ථාවක් දැක ගත හැකි විය.

අපේක්ෂකයන් දෙදෙනාම ඊයේ (04) දිනයේ දී ප්‍රකාශයන් නිකුත් කරමින් පවසා සිටියේ තමා ජයග්‍රහණය කර ඇති බවයි.

නමුත් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් තම ආධිපත්‍ය පතුරුවාගෙන සිටි විස්කොන්සිස්, මිෂගන් ප්‍රාන්තයන්වල ප්‍රතිඵලය එක්වරම වෙනස් වී ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ජය ගැනීමත් සමඟ තරමක් නොසන්සුන්කාරී තත්ත්වය රිපබ්ලිකන් පාර්ශවයෙන් පිළිබිඹු වන්නට විය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දිනයේ දී කියා සිටියේ මෙම ඡන්ද ගණන අත්හිටවීමටත්, නැවත ගණනයක් කිරීම සඳහා නඩු මඟට අවතීර්ණය වන බවයි.

ඒ අනුව ඊයේ දිනය වන විට ට්‍රම්ප් බලය තහවුරු කරගනිමින් සිටි විස්කොන්සිස් ප්‍රාන්තය ගිලිහී යාමෙන් පසුව එහි ඡන්ද අක්‍රමිකතාවයක් වී ඇති බවට පවසමින් රිපබ්ලිනකන් පාර්ශවයේ ඡන්ද කළමණාකාරවරයා විසින් එය නැවත ගැනීමක් කළ යුතු යැයි පවසා තිබුණි. ඒ සඳහා නඩු මඟට අවතීර්ණය වන බවද ඔවුන් පවසා තිබේ.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් හට ඔහු බලය තහවුරු කරගනිමින් සිටි මිෂගන් ප්‍රාන්තයද අහිමි වූ අතර එයත් ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයක් විය. මේ වන විට මිෂගන් ප්‍රාන්තයේ ඡන්දයට එරෙහිවද නඩුවක් ගොනු කර ඇතැයි වාර්තා වේ.

ජෝර්ජියා ප්‍රාන්තයටද එය එසේම වූ අතර මේ වන විට එම ප්‍රාන්තයටද නඩුවක් ගොනු කර ඇතැයි වාර්තා වේ.

ට්‍රම්ප් පාර්ශවයෙන් ඔවුන්ගේ තවත් බල කඳවුරක් ලෙස තහවුරු කරගෙන සිටින පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ඡන්ද ගණනය කිරීමටද බලපෑම් කරමින් සිටින බව වාර්තා වෙයි. 

Rate this item
(0 votes)