April 27, 2024

(EXCLUSIVE) ජනපති අන් මත අහන්න කැමති නැහැ - අතුරලියේ රතන හිමි මුහුණ දුන් අකරතැබ්බය ගැන කියයි

ජනපතිවරයා කිසිවෙකුගෙන් හඬට සවන් නොදෙන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කරනවා.

මෑත කාලයේ තමන් ජනපතිවරයාට දුරකතන ඇමතුම් 20 කට වඩා ලබාදී ඇති මුත් ඊට ප්‍රතිචාර නොලැබුණු බවයි උන් වහන්සේ අනාවරණය කරන්නේ.

කතා කිරීමට හේතුව

තමන්වහන්සේ ජනපතිවරයාට එසේ ඇමතුම් ලබා දුන්නේ කාබනික පොහොර අවුල ගැන සඳහන් කිරීමට බව උන් වහන්සේ පෙන්වා දෙනවා.

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ තමන් වහන්සේද මුල් වී ආරම්භ කළ කාබනික වගාව මේ වන විට අසාර්ථක වැඩ පිළිවෙළක් හා පිස්සුවක් බවට පරිවර්තනය කොට ඇති බවට උන්වහන්සේ චෝදනා කරනවා.

ජනපතිවරයා තනිව මුණ ගැසීමට තමන් වහන්සේට කිසිදු අවස්ථාවක් නොලැබුණු බව සඳහන් කරන උන් වහන්සේ දෙවතාවක් පමණක් දුරකථනයෙන් ජනපතිවරයා සම්බන්ධ කර ගැනීමට හැකි වූ බවත් සඳහන් කරනවා.

අසා සිටීම පමණයි

ඉන් එක් ඇමතුමකදී විනාඩි 10 ක පමණ කාලයක් කතා කළ බවත් එහිදී ජනපතිවරයා විනාඩි 8 කට වැඩි කාලයක් කතා කළා අතර තමන් වහන්සේට අදහස් දැක්වීමට කාලයක් නොලැබුණු බවයි රතන හිමියන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ජනපතිවරයා ඔහු කියන දේ අසාගෙන සිටිනවා දැකීමට කැමති පුද්ගලයකු බවත් ඔහු ප්‍රකාශ කරන දේට අන් අය දක්වන ප්‍රතිචාර ඇසීමට කැමති නැති පුද්ගලයෙකු බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන උන් වහන්සේ මේ වන විට ආණ්ඩුවට සහය දෙනවා.

රතන හිමියන් මේ අදහස පළ කළේ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 04 January 2022 22:32