April 28, 2024

(EXCLUSIVE) මන්ත්‍රීකම අත් හැරීමට සූදානම්ද: රතන හිමිගෙන් පිළිතුරු

තමන් වහන්සේ නඩු මගට බසින බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර අවසන් බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඒෂියන් මිරර් වෙත සඳහන් කරනවා.

ඒ අපේ ජන බල පක්ෂය තමන් වහන්සේව එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් කිරීමට ගත් තීරණයට එරෙහිව බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ.

දින 30ක කාලය

එසේ නඩුවක් ගොනු කිරීම සඳහා තමන් වහන්සේව මන්ත්‍රී ධූරයෙන් ඉවත් කළ බව දැනුම් දුන් දින සිට දින 30ක කාලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා මැතිවරණ නීති රීති වලට අනුව තමන් වහන්සේට හිමි බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ බැව් සඳහන් කළේ උන් වහන්සේගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින්.

මැතිවරණ නීතිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා මැතිවරණ නීති රීති වලට අනුව යම් පක්ෂයක් විසින් මන්ත්‍රීවරයෙකු විනය පරීක්ෂණයකින් පසු පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ බව මැතිවරණ කොමිසමට දැනුම් දුන් දින සිට දින 30ක් ඇතුළත එසේ ඉවත් කළ මන්ත්‍රීවරයාට එම තීන්දුව අධිකරණයේ අභියෝගයට ලක් කිරීමට ප්‍රතිපාදන තිබෙනවා.

එම දින 30 ඇතුලත එසේ අභියෝගයට ලක් නොකරන්නේ නම් ස්වභාවිකවම එම මන්ත්‍රිවරයාගේ මන්ත්‍රීධූරය අහෝසි වනවා.

පක්ෂය ගත් තීන්දුව

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ව උන් වහන්සේ දරන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හිමි අපේ ජන බල පක්ෂයෙන් ඉවත් කළ බවත් එ නිසා උන්වහන්සේගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා එම පක්ෂය ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් බාර දී තිබෙනවා.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උන් වහන්සේට එරෙහිව ඇති චෝදනා හතරකට වැරදිකරු බව සිය පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා දේශපාලන මණ්ඩලය තීරණය කළ බැවින් උන් වහන්සේව පක්ෂයෙන් ඉවත් කළ බවයි එම පක්ෂය මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබෙන්නේ.

පූජ්‍ය අතුලේ රතන හිමියන් පසුගිය මහ මැතිවරණයේදී අපේ ජන බල පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කොට පරාජය වූ මුත් එම පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා නම් කිරීමට එම පක්ෂය තීරණයක් ගත්තා.

එහෙත් එසේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කිරීමේදී ඇතිවූ එකඟතාවයන් උන්වහන්සේ කඩකර ඇති බවට අපේ ජන බල පක්ෂය චෝදනා කරනවා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 21 October 2021 11:08

Related items