May 04, 2024

රතන හිමි වෙනුවට වෙනත් හිමි නමක් මන්ත්‍රීකමට

අපේ ජන බල පක්ෂය එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා බොදු බල සේනා සංවිධානයේ ප්‍රධානියා වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමි නම් කිරීමට සූදානමින් සිටින බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

ඒ මේ වන විට එම පක්ෂයෙන් නෙරපා තිබෙන  පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දරන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා.

පොරොන්දුව කඩ කිරීම

ඉකුත් ජනවාරි මස එම පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ අතුරලියේ රතන හිමියන් දිවුරුම් දුන්නා.

ඒ මාස 3 ක හා 6 ක කාලයක් ඇතුළත එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වී එම මන්ත්‍රී ධුරය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට ලබාදෙන පොරොන්දුව මත බවයි අපේ ජන බල පක්ෂය සඳහන් කරන්නේ.

එම පොරොන්දුව අතුරලියේ රතන හිමියන් කඩ කර ඇති බව අපේ ජන බල පක්ෂය පෙන්වා දෙනවා.

එහෙත් තමන් වහන්සේ කිසිදු පාර්ශ්වයක් සමග වාචිකව හෝ ලිඛිතව මෙවැනි එකඟතාවයකට නොපැමිණි බවයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සදහන් කරන්නේ.

පක්ෂය ගත් ඒකමතික තීන්දුව

මේ වන විට එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය නියෝජනය කරන පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එම පක්ෂයෙන් නෙරපා දමා තිබෙනවා.

 එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව ගත් තීන්දුවකට අනුව.

අතුරුලියේ රතන හිමියන් වෙත එල්ල වූ චෝදනා හතරකට උන්වහන්සේ වැරදිකරු බව තීරණය කරමිනුයි අපේ ජන බල පක්ෂය මෙම තීරණය අරගෙන තිබෙන්නේ.

කොමිසමට ලිපියක්

ඒ අනුව සිය පක්ෂයෙන් නෙරපූ අතුරලියේ රතන හිමියන් සිය පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් අපේ ජන බල පක්ෂය ස්වාධීන මැතිවරණ කොමිසම වෙත ලිපියක් යවා තිබෙනවා.

එම ලිපිය ඊයේ (15) එම පක්ෂය විසින් එම කොමිසමට භාර දී තිබෙනවා.

එම ලිපිය තමන් වෙත ලැබුණු බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතාද මේ වන විට තහවුරු කර තිබෙනවා.

සමගි ජන බලවේග තීන්දුව

අපේ ජන බල පක්ෂය මෙම තීන්දුව ගත්තේ ඉකුත් සතියේ සමගි ජන බලවේගයද ඩයනා ගමගේ මන්ත්‍රීවරිය එම පක්ෂයෙන් නෙරපීමට ගත් තීන්දුවේ උණුසුම මැකී යාමටත් මත්තෙන්.

ඇයද සමගි ජන බලවේග ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරියක්.

Rate this item
(0 votes)
Last modified on Monday, 18 October 2021 12:06

Related items