May 10, 2024

තෙරුවන් සරණයි රතන හිමියන්ට: මන්ත්‍රී කමෙන් අයින් වෙන්න - රෝගී හිමි නම රෝහලේ සිටම ඉල්ලයි

අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී එය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබා දෙන ලෙස මාගල්කන්දේ සුදත්ත හිමි රෝහලේ සිටම ඉල්ලීමක් කරනවා.

සිංහල රාවය සංවිධානයේ මහ ලේකම්වරයා වන උන්වහන්සේ මේ වන විට කොවිඩ් - 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර උන්වහන්සේ වැඩිදුරටත් රතන හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ මන්ත්‍රීධූරයෙන් හය මසකින් ඉල්ලා අස්වීමට එකඟතාවයක් තිබේ නම් එය කාලෝචිත තීන්දුවක් බැවින් ඉටු කරන ලෙසත් එසේ එකඟතාවයක් නැතිනම් හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසයි.

මන්ත්‍රීවරයෙකු ලෙස රතන හිමි කළ එකම වැඩේ

රතන හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කළ එකම කාර්යභාරය වරාය නගර පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය දීම පමණක් බව පෙන්වා දෙන සුදත්ත හිමියන් දඬු ලා වැඩුණු පාස්කු ප්‍රහාරය පිළිබඳව මනා අවබෝධයක් තිබෙන ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට රට හදන තැන දී ඒ කාරණාවන් හෙළිදරව් කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසයි රතන හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ඉස්ලාමිය ත්‍රස්තවාදයට එරෙහි හඬ සභා ගැබට

ඒ හරහා ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ අවබෝධයක් ඇති ගලබඩඅත්තේ ඥානසාර හිමියන්ට මෙවන් අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාවන් මින් මතුවට සිදු නොවන්නට තීන්දු තීරණ ගැනීම සඳහා පක්ෂ විපක්ෂ සියලුම මහජන නියෝජිතයන්ගේ අවධානය යොමු කිරීමට හැකියාව ලැබෙන බවට මහා සංඝරත්නය තුළ විශ්වාසයක් තිබෙන බවයි සුදත්ත හිමියන්ගේ මතය වන්නේ.

මීට ටික වේලාවකට පෙර රෝහලේ සිට වීඩියෝ පටයක් නිකුත් කරමින් රතන හිමියන්ගෙන් මෙම ඉල්ලීම කරන සුදත්ත හිමියන් වීඩියෝ පටය අවසානයේ රතන හිමියන්ට තෙරුවන් සරණ පැතීමටද අමතක කළේ නැහැ.

රතන හිමිගේ ප්‍රතිචාරය

මේ කාරණය සම්බන්ධයෙන් මේ වන විටත් රතන හිමියන් ප්‍රතිචාර දක්වා ඇති අතර තමන් වහන්සේ මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීම් පිළිබඳව කිසිදු පාර්ශ්වයක් සමඟ ලිඛිත හෝ වාචික එකඟතාවයක් නොමැති බැවින් අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයේ දිගටම කටයුතු කරන බව කියා තිබෙනවා.

මේ වන විට රතන හිමියන් සිය සහය ආණ්ඩුවට නිල වශයෙන් ලබාදී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 June 2021 09:31