May 11, 2024

සිම්බාබ්වේ සුපිරි ක්‍රීඩක බ්‍රෙන්ඩන් ටේලර් ඉන්දීය ඔට්ටුකරුවන් නිසා අමාරුවේ වැටේ: වසරක ක්‍රිකට් තහනමක්

බ්‍රෙන්ඩන් ටේලර් සිම්බාබ්වේ එතෙක් මෙතෙක් බිහි කළ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයායි.

මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දී තිබෙන ටේලර් ඉන්දීය ක්‍රිකට් ඔට්ටු කරුවන් නිසා අසීරුවේ වැටී තිබෙනවා.

ක්‍රිකට් තහනම

මේ නිසා තමාට වසරක ක්‍රිකට් තහනමක් පැනවෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

ඊට හේතුව ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් තමා දැනුවත් සිදුවීමක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට එම සිදුවීම සිදු වූ අවස්ථාවේ වාර්තා නොකොට එය මාස හතරකට පසු වාර්තා කිරීම හේතු කොටගෙනයි.

එළඹෙන පෙබරවාරි මස 6 වැනි දිනට සිය 36 වැනි උපන් දිනය යෙදී තිබෙන ඔහු හා ඉන්දීය ක්‍රිකට් ඔට්ටුකරුවන් අතර 2019 වර්ෂයේ ඔක්තෝම්බර් මස අග භාගයේ ඉන්දියාවේ දී සිදුවූ හමුවක් හා එහිදී ලබාගත් ඇමරිකානු ඩොලර් 15000 (ලංකාවේ මුදලින් රු. 300,000) ලබා ගැනීමේ සිද්ධියක් මෙම තරග තහනමට හේතු වී තිබෙනවා.

කියන කතාව

ටේලර් තමන් මුහුණ දුන් සිද්ධිය ගැන කියන්නේ මෙන්න මේ ආකාරයට.

"2019 ඔක්තෝම්බර් මස අග භාගයේදී ඉන්දීය ව්‍යාපාරිකයෙකුගේ ආරාධනාවට අනුව මම ඉන්දියාවට පැමිණියා.ඔවුන් මට ආරාධනා කළේ සිම්බාබ්වේ රට තුළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීම ගැන සාකච්ඡා කිරීමට.ඒ වන විට සිම්බාබ්වේ කණ්ඩායම ජාත්‍යන්තර තරඟ කිසිවකටත් සහභාගී නොවී සිටීම නිසා ආර්ථික පැත්තෙන් අනාගතය අවිනිශ්චිත නිසා මෙය හොඳ අවස්ථාවක් යැයි මා සිතුවා.ඒ නිසා මා ඉන්දියාවට පැමිණියා.එසේ පැමිණීම සඳහා ඔවුන් මට ඇමරිකානු ඩොලර් 15000ක් ලබාදීමටත් එකඟ වුණා"

"එසේ ඉන්දියාවට පැමිණි මා හට ඔවුන් මා ඉන්දියාවේ ගත කළ අවසන් රාත්‍රියේ රාත්‍රී කෑම වේලක් සඳහා ආරාධනා කර අතර මාද එහි ගියා.එහිදී ඔවුන් මට කොකේන් පානය කිරීමට දුන් අතර මාගේ අනුවණ කමට මා එය පාවිච්චි කලා. ඉන් පසුව මට බඩේ අසීරු තත්ත්වයක් ද ඇති වුණා."

"ඊට පසු දින උදෑසනම එම ව්‍යාපාරිකයා සමඟ පැමිණි 6 දෙනෙකුගෙන් යුත් පිරිස තමා පෙර දින රාත්‍රියේ කොකේන් පානය කරන වීඩියෝ පටය ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කලා.එසේ නොවන්නට නම් ඉදිරියේ පැවැත්වෙන තරග කිහිපයක් පාවාදීමට (MATCH FIXING) යෝජනා කළ අතර ඔවුන් මට පොරොන්දු වූ ඇමරිකානු ඩොලර් 15000 මුදල ඒ සඳහා අත්තිවාරමක් ලෙස ලබා දුන්නා.තරග පාවා දීමෙන් පසු තවත් ඇමරිකානු ඩොලර් 20000 ක් (රු. ලක්ෂ 4,00,000) ලබා දෙන බව සඳහන් කළා.මේ අසීරු අවස්ථාවෙන් බේරීම සඳහා මම එම මුදල් ගෙන එදිනම ඉන්දියාවෙන් පිටත් වුණා."

මුහුණ දුන් මානසිකත්වය

"එහෙත් එහිදී මම මුහුණ දුන් එම සිදුවීම නිසා මගේ මානසිකත්වය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු අතර මාගේ පවුලේ අයගේ ආරක්ෂාව මා හට තහවුරු කිරීමට හැකිවන තෙක් මම එම සිද්ධිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට වාර්තා කළේ නැහැ.එම නිසා මම එම සිද්ධිය වාර්තා කළේ එම සිදුවීම සිදු වී මාස 4 කට පසුවයි.එය වැරැද්දක් බව මා දන්නවා.එහෙත් මා කිසිදු තරගයක් පාවාදීමට කටයුතු කර නැහැ."

මෙම සිද්ධිය මත තමාට වසරක ක්‍රිකට් තහනමක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පැනවීමට නියමිත බවයි ටේලර් පෙන්වා දෙන්නේ.

එපමණක් නොව තමා හෙට (25) සිට පුනරුත්ථාපනය සඳහා යොමු වන බවත් ඉන් පසුව නිවැරදි පුද්ගලයකු ලෙස ජීවත් වීමට කටයුතු කරන බවත් ටේලර් සඳහන් කරනවා.

ඉතා ළාබාල දීම සිම්බාබ්වේ ජාතික පෙළ නියෝජනය කිරීමේ වාසනාව ලැබූ ක්‍රීඩක ටේලර් වසර 17 ක් සිම්බාබ්වේ ජාතික ජාතික පිල නියෝජනය කළා මෙන්ම දශකයකට ආසන්න කාලයක් එම කණ්ඩායමේ නායකත්වය ද දරුවා.

දක්ෂ පිතිකරුවෙකු පමණක් නොව දක්ෂ කඩුළු රකින්නෙකු ද වන ඔහු එම කාලය තුළ ටෙස්ට් තරග 34 කදී 2320 කුත් (සාමාන්‍ය 36.25) එක්දින තරඟ 205 කදී ලකුණු 6684 කුත් (සාමාන්‍ය 35:55) විස්සයි විස්ස තරග 45 කදී ලකුණු 934 කුත් සිම්බාබ්වේ පිල වෙනුවෙන් රැස් කොට ගෙන තිබෙනවා.

කඩුළු රකින්නෙකු ලෙස ටෙස්ට් , එක්දින හා විස්සයි විස්ස තරග වලදී උඩ පන්දු 183 ක් රැක ගෙන ඇති අතර ස්ටම්ප් කිරීම් 31 ක් කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 24 January 2022 20:29