April 19, 2024

ශ්‍රී ලංකා ඉනිම අවසන් වූයේ මෙහෙමයි (VIDEO)

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර එක් දින තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය මේවන විට ක්‍රියාත්මක යි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා ඉනිම මීට සුළු මොහොතකට පෙර අවසන් වූවා.

(වීඩියෝව මෙම සටහන අවසානයේ)

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි.

පිතිකරුවන්ට වාසිදායක වූ තණතිල්ලක් ලැබී ඇති බැවින් තමන් මෙම තීරණය ගත් බව යි ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර සිම්බාබ්වේ නායක ක්‍රේග් අර්වින් පවසා සිටියේ පෙර තරග දෙකෙහි දී ලැබුණු තණතිල්ලට සමාන තණතිල්ලක් අද දිනයේ ද ලැබී ඇති බැවින් ශ්‍රී ලංකාව ලබා ගන්නා ලකුණු ගණන හඹා ගොස් තරගය ජය ගැනීමට තම කණඩායමට හැකිවනු ඇතැයි විශ්වාසයෙන් පසුවන බව යි.

සිය පිතිකරුවන් හොඳ මානසිකත්වයකින් සිටින බව ද ඔහු සඳහන් කළා.

පසුගිය තරග දෙකෙහිදීම සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු දක්නට ලැබුණා.

පළමු තරගයේ දී ලකුණූ 300 සීමාව ආසන්නයට ගිය ඔවුන් දෙවැනි තරගයේ දී එම සීමාව අභිබවා යාමට ද සමත් වුණා.

එවන් පසුබිමක ශ්‍රී ලංකාව අද දිනයේ ලකුණූ 300ට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම තරගය ජය ගැනීමට තීරණාත්මකවන බවට විස්තර විචාරකයින් පවා සඳහන් කළා.

කෙසේ වෙතත් සිය වගකීම මැනැවින් තේරුම් ගත් සිම්බාබ්වේ පන්දු යවන්නන් ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක් ගෙන දුන්නා.

නියමිත පන්දු වාර 50 තුළ කඩුළු 09ක් දවා ගත් ඔවුන් ශ්‍රී ලංකා පිතිකරුවන්ව  ලකුණූ 254කට සීමා කළා.

ශ්‍රී ලංකා ඉනිමෙහි වැඩිම කඩුළු ලාභියා වූ පැතුම් නිස්සංක ලකුණු 55කට දැවී ගියා.

චරිත් අසලංක ලකුණූ 52 යි.

කුසල් මෙන්ඩිස්ට ලබා ගත හැකි වූයේ ලකුණු 36ක් පමණ යි.

චාමික කරුණාරත්න ලකුණූ 30කට දැවී ගියා.

රමේෂ් මෙන්ඩිස් ලකුණු 26කුත්, දිනේෂ් චන්දිමාල් ලකුණු 17කුත්, දසුන් ශානක ලකුණු 15කුත් ලබා දැවී යද්දී කමිඳු මෙන්ඩිස් දැවී ගියේ ලකුණූ 11ක් පමණයි.

දුෂ්මන්ත චමීර එක් ලකුණකට දැවී ගිය අතර පන්දුවාර 50 අවසන්වන විට නොදැවී සිටි ජෙෆ්රි වැන්ඩසේ ලකුණූ 03කුත් මහීෂ් තීක්ෂණ එක් ලකුණකුත් ලබා සිටියා.

ජයග්‍රහණය සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ලැබී ඇති ඉලක්කය ලකුණූ 255ක්.

ඔවුන්ගේ පිළිතුරු ඉනිම තවත් සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිත යි.

ශ්‍රී ලංකා ඉනිමෙහි විශේෂ අවස්ථා පහතින්...

Rate this item
(0 votes)
Last modified on Friday, 21 January 2022 21:21