March 29, 2024

කාසියේ වාසිය විසඳෙයි - දෙවැනි තරගය ඇරඹෙයි

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින තරගාවලියේ දෙවැනි තරගය මේවන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනුවේ සිම්බාබ්වේ නායක ක්‍රේග් අර්වින් විසින්.

පළමු තරගයේ මෙන්ම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඔහු තීරණය කළා.

පෙර තරගයේ දී සිය පිතිකරුවන් සඳහා තණ තිල්ල ඉතා වාසි දායක වූ නිසා අද දිනයේ ද එම තීරණය ගත් බව යි ඔහු ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසා සිටියේ ප්‍රථම තරගයේ ලකුණු හඹා යාම දැඩි විශ්වාසයකින් සිදු කළ බව යි.

එම තරගයේ මෙන්ම අද තරගයේ දී ද තමන්ට සිම්බාබ්වේ ලකුණූ ප්‍රමාණය හඹා ගොස් ජයගත හැකි බව යි ඔහු විශ්වාසයෙන් යුතුව කියා සිටියේ.

කෙසේ වෙතත් පළමු තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායම දැවැන්ත ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම සිහිපත් කළ ශානක වැඩිදුරටත් පවසා සිටියේ පන්දු රැකීමේ අංශය පිළීබඳ සැලකිළිමත් වී ලබා දෙන ලකුණු ප්‍රමාණය අඩු කරගැනීමට උත්සහ දරන බව යි.

දිවා රාත්‍රී තරගයක් ලෙසින් අද (18) තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී යි.

මෙම පුවත පළකරන අවස්ථාව (ප.ව. 3.10) වන විට තරගයේ 09 වැනි පන්දුවාරය ක්‍රියාත්මකව පවතින අතර සිම්බාබ්වේ කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණූ 52ක් ලබා සිටිනවා.

මේ අතර පළමු තරගයට සහභාගී නොවූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර අද තරගයට එක් වී තිබෙනවා.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි චමීර මේවන විට සුවය ලබා ඇති අතර පළමු තරගයට ඔහු සහභාගී නොවූයේ විවේක ගැන්වීම හේතුවෙන්.

චමීර වෙනුවට යොවුන් ක්‍රීඩක චාමික ගුණසේකරට එක් දින වරම් ලබා දෙමින් පළමු තරගයට සහභාගී කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළත් අවාසනාවන්ත ලෙස තමා සහභාගී වූ පළමු තරගයේ දීම ඔහුට ක්‍රීඩාගාරය බලා යාමට සිදු වූයේ කළව ප්‍රදේශයේ ඇති වූ ආබාධයක් නිසා යි.

1-0ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගන්නට ශ්‍රී ලංකාව මේවන විට සමත් වී තිබෙනවා.

කෙසේ වෙතත් තමන් අවතක්සේරු කළ නොහැකි කණ්ඩායමක් බව සිම්බාබ්වේ පිල පළමු තරගයේ දී පෙන්වා දුන්නා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔවුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබල අභියෝගයක් ලබා දුන් අතර නියමිත පන්දුවාර 50 අවසානයේ ඔවුන් කඩුළු 09ක් දැවී ලකුණූ 296ක් රැස් කළා.

කඩුළු 05ක් දැවී ශ්‍රී ලංකාව ලකුණූ 300ක් ලබාගත් අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පළමු තරගය කඩුළු 05කින් ජයගත්තා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 January 2022 15:23