April 20, 2024

කාසියේ වාසිය ශානකට - ශ්‍රී ලංකා ඉනිමෙහි අඩක් අවසන්

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර එක් දින තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය අද පස්වරුවේ ආරම්භ වූවා.

ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වූවා.

ශානක තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි.

පිතිකරුවන්ට වාසිදායක වූ තණතිල්ලක් ලැබී ඇති බැවින් තමන් මෙම තීරණය ගත් බව යි ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර සිම්බාබ්වේ නායක ක්‍රේග් අර්වින් පවසා සිටියේ පෙර තරග දෙකෙහි දී ලැබුණු තණතිල්ලට සමාන තණතිල්ලක් අද දිනයේ ද ලැබී ඇති බැවින් ශ්‍රී ලංකාව ලබා ගන්නා ලකුණු ගණන හඹා ගොස් තරගය ජය ගැනීමට තම කණඩායමට හැකිවනු ඇතැයි විශ්වාසයෙන් පසුවන බව යි.

සිය පිතිකරුවන් හොඳ මානසිකත්වයකින් සිටින බව ද ඔහු සඳහන් කළා.

පසුගිය තරග දෙකෙහිදීම සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු දක්නට ලැබුණා.

පළමු තරගයේ දී ලකුණූ 300 සීමාව ආසන්නයට ගිය ඔවුන් දෙවැනි තරගයේ දී එම සීමාව අභිබවා යාමට ද සමත් වුණා.

ශ්‍රී ලංකාව පළමු තරගය ජයගත් අතර දෙවැනි තරගය ජයගත්තේ සිම්බාබ්වේ කණ්ඩායම විසින්.

ඒ අනුව තරගාවලිය 1-1ක් ලෙස මේවන විට පවතින්නේ සම තත්ත්වයේ යි.

එම නිසා ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ යන දෙපාර්ශවයටම අද තරගය තීරණාත්මක වන්නේ මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම තරගාවලියේ ජයග්‍රහණය කරන බැවින්.

මෙම පුවත පළ කරන අවස්ථාවවන විට (පස්වරු 4:15) ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 119ක් ලබා සිටිනවා.

නිමා වූයේ ඉනිමෙහි 25වැනි පන්දු වාරය යි.

පැතුම් නිස්සංක අර්ධ ශතකයක් ලබා ගත් අතර මෙම තරගාවලිය තුළ ඔහු ලැබූ දෙවැනි අර්ධ ශතකය එය යි.

ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙස ලකුණු 36ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් දැවී ගියා.

පැතුම් නිස්සංක දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණූ 55කට යි.

කමිඳු මෙන්ඩිස් හට ලබා ගත හැකි වූයේ ලකුණු 11ක් පමණක්වන අතර ඔහු තෙවැනි කඩුල්ල වූවා.

මේවන විට පිටියේ රැඳී සිටින චරිත් අසලංක ලකුණූ 10කුත් දිනේෂ් චන්දිමාල් ලකුණූ 05කුත් ලබා සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 January 2022 16:19