April 25, 2024

ශානකගේ පළමු 100 අපතේ යයි - තරගාවලිය සම තත්ත්වයට වැටෙයි

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින තරගාවලියේ දෙවැනි තරගය ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

ඔවුන් තරගය ජය ගත්තේ ලකුණු 22කින්.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ නායක ක්‍රේග් අර්වින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාව වෙත දැවැන්ත ඉලක්කයක් ලබා දුන්නා.

නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ඔවුන් ලබා ගත් ලකුණු ගණන 302ක්.

ඒ අනුව තරගය ජය ගැනීමට නම් ශ්‍රී ලංකා පිතිකරුවන් හට ලකුණු 303ක ඉලක්කයක් ලැබුණා.

නායක ක්‍රේග් අර්වින් ලකුණු 91ක් ලබාගත් අතර සිකන්ඩර් රාසා ලකුණූ 56ක් රැස් කළා.

සීන් විලියම්ස් ලකුණු 48කුත් රේගිස් චකබ්වා ලකුණු 47කුත් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 51කට කඩුළු 03ක් බිඳහෙලුවා.

නුවන් ප්‍රදීප් කඩුළු 02ක් දවා ගත්තේ ලකුණු 74ක් ලබා දෙමින්.

මහීෂ් තීක්ෂණ සහ චාමික කරුණාරත්න එක් කඩුල්ල බැගින් ලබා ගත්තා.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් දැවී ගියේ සිය සුපුරුදු ක්‍රීඩා විලාශය ප්‍රේක්ෂකයින්ට සිහිකරදෙමින්.

මාස ගණනක තරග තහනමකින් පසු පිටියට පිවිසි ඔහු පසුගිය තරගයේ ද ඉතා අඩු ලකුණු ගණනකට දැවී ගියා.

දෙවැනි තරගයේ දී ඔහුට ලබා ගත හැකි වූයේ ලකුණු 07ක් පමණ යි.

පැතුම් නිස්සංක ද ලකුණූ 16කට දැවී ගියේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලයම ක්‍රීඩාගාරයට හරවා යවමින්.

මුලු ලකුණු ගණන 31 බවට පත් වෙද්දී තෙවැනි කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල්ව දවා ගැනීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත් වූයේ ශ්‍රී ලංකාවට මහත් පීඩනයක් ගෙන දෙමින්.

චන්දිමාල් ලබා ගත්තේ ලකුණු 02ක් පමණ යි.

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් චරිත් අසලංක සහ කමිඳු මෙන්ඩිස් ගොඩනැගීමට උත්සහ දැරූ ලකුණු සබඳතාව 32කට සීමා වූ අතර අසලංක ලකුණු 23කට දැවී ගියා.

බිඳ වැටී තිබූ ඉනිමට යළි ජීවය දෙන්නට පැමිණියේ නායක දසුන් ශානක යි.

කමිඳු සහ ශානක එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118ක සබඳතාවක් ගොඩ නැගුවේ තරගය යළි ශ්‍රී ලංකාව දෙසට හරවා ගනිමින්.

කෙසේ වෙතත් කමිඳු මෙන්ඩිස්ගේ දැවී යාමෙන් එම සබඳතාව බිඳ වැටුණා.

කමිඳු ලකුණූ 57ක් ලබා ගත් අතර ඔහු එලෙස වාර්තා කළේ සිය එක්දින දිවියේ පළමු අර්ධ ශතකය යි.

ඉන් අනතුරුව චාමික කරුණාරත්න සහ දසුන් ශානක එක්ව ලකුණූ 66ක සබඳතාවක් ගොඩ නැගුවා.

දසුන් ශානක ශතකයක් ද වාර්තා කළ අතර එය ඔහුගේ පළමු එක් දින ජාත්‍යන්තර ශතකය යි.

නමුත් තරගය යළි සිම්බාබ්වේ කණ්ඩායම දෙසට බර වූයේ ශතකය වාර්තා කළ සැණින් සිදු වූ ශානකගේ දැවී යාමත් සමග යි.

ඔහු දැවී යන විට ලකුණු 102ක් ලබා සිටියා.

එම කඩුල්ලත් සමග ශ්‍රී ලංකා ඉනිමෙහි ජවය හීන වී ගිය අතර එක් පිතිකරු යුගලයකට හෝ සැළකිය යුතු මට්ටමේ ලකුණු සබඳතාවක් ගොඩ නැගීමට හැකි වූයේ නැහැ.

චාමික කරුණාරත්න සහ දුෂ්මන්ත චමීර එක්ව ඉනිම යළි ගොඩ නැගීමට උත්සහ දැරූ නමුත් ලකුණු 34කට චාමික දැවී යාමත් සමග ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් වී ගියා.

ඒවන විට ශ්‍රී ලංකාවේ ජය වෙනුවෙන් පන්දු 17ක් තුළ ලකුණූ 37ක් ලබා ගත යුතුව තිබුණා.

එය හඹා යා හැකි ඉලක්කයක් වූ නමුත් පිතිකරණ ලැයිස්තුවේ ඉතිරිව සිටියේ පිත්තට වඩා පන්දුව හුරු පුරුදු ක්‍රීඩකයින් පමණ යි.

තරග පරාජය වීමට මුල් පෙළ පිතිකරුවන්ගේ වගකීම් විරහිත බව මූලික හේතුවක් ය යන්න යළි යළිත් තහවුරු කරන්නට ශ්‍රී ලංකාව පත් වූ තත්ත්වය සාක්ෂි දැරුවා.

දුෂ්මන්ත චමීර ලකුණු 13කට දැවී ගියා.

ජෙෆ්රි වැන්ඩසේ හට ලබා ගත හැකි වූයේ ලකුණූ 04ක් පමණ යි.

සිය ඉලක්කයට ලකුණූ 22ක් අඩුව තිබිය දී නියමිත පන්දුවාර 50 අවසන් වූ අතර ඉන් සිම්බාබ්වේ ජය තහවුරු වූවා.

තරගය අවසන්වන විට නොදැවී පිටියේ රැඳී සිටි මහීෂ් තීක්ෂණ ලකුණූ 04කුත් නුවන් ප්‍රදීප් ලකුණු 05කුත් ලබා සිටියා.

තරගයේ වීරයා බවට පත් වූයේ සිම්බාබ්වේ නායක ක්‍රේග් අර්වින්.

දෙවැනි තරගය සිම්බාබ්වේ ජය ගැනීමත් සමග මේවන විට 1-1ක් ලෙස තරගාවලිය සම තත්ත්වයේ පසුවනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 January 2022 06:45