April 26, 2024

LPL: 05 වැනි තරගය ‍| ගාලු - මහනුවර සටන තියුණූ ලෙස කෙළවර වෙයි

December 08, 2021

LPL තරගාවලියේ 05 වැනි තරගය ඊයේ (07) රාත්‍රියේ අවසන් වූවා.

තරගය පැවැත්වුණේ ගාල්ල (ගෝල් ග්ලැඩියේටර්ස්) සහ මහනුවර (කැන්ඩි වොරියර්ස්) කණ්ඩායම් අතර යි.

මෙතෙක් පැවැති තරගවලින් උණුසුම්කාරීම තරගය වූ මෙම තරගයෙන් කඩුළු 04ක තියුණු ජයක් ලැබීමට ගාලු කණ්ඩායම සමත් වුණා.

මෙම තරගය පැවැත්වුණේ කණ්ඩායම් දෙකම අවසන්වරට ක්‍රීඩා කළ තරග පරාජය වූ පසුබිමක යි.

එමෙන්ම කණ්ඩායම් දෙකම වෙනස්කම් දෙක බැගින් සිදුකර තිබුණා.

මහනුවර කණ්ඩායමේ අසේල ගුණරත්න සහ ඩෙවෝන් තෝමස් වෙනුවට තිලකරත්න දිල්ෂාන්ගේ සොයුරාවන TM සම්පත් සහ අහ්මඩ් ෂේසාඩ් කැඳවා තිබුණා.

එමෙන්ම ගාල්ල කණ්ඩායමේ පුලින තරංග සහ ඉසුරු උදාන වෙනුවට කැඳවා තිබුණේ සුමින්ද ලක්ෂාන් සහ ධනංජය ලක්ෂාන් යන දෙදෙනා යි.

කාසියේ වාසිය දිනා ගත් මහනුවර නායක ඇන්ජලෝ පෙරේරා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි.

ඒ අනුව ඔවුන් පන්දුවාර 20 අවසන කඩුළු 06ක් දැවී ලබා ගත් ලකුණු ගණන 143ක්.

එහි දී අහ්මඩ් ෂේසාඩ්ගේ සහ කමිඳු මෙන්ඩිස්ගේ පිතිකරණයන් කැපී පෙනුනා.

ෂේසාඩ් ලකුණු 56ක් ද මෙන්ඩිස් ලකුණු 32ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී ගාලු කණ්ඩායම වෙනුවෙන් සමිත් පටෙල් ලකුණු 13කට කඩුළු 03ක් බිඳ හෙලූ අතර ධනංජය ලක්ෂාන් ලකුණු 11කට කඩුළු 02ක් ලබා ගත්තා.

නූර් අහ්මඩ් එක් කඩුල්ලක් ලබා ගත්තේ ලකුණු 22ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ගාල්ල කණ්ඩායමට සිය ජයග්‍රාහී ඉලක්කය වෙත යාමට මහනුවර කණ්ඩායම පහසුවෙන් ඉඩ ලබා දුන්නේ නැහැ.

කෙසේ වෙතත් තවත් පන්දු 04ක් පමණක් ඉතිරිව තිබිය දී ගාලු කණ්ඩායම කඩුළු 04කින් තරගය ජය ගත්තේ කඩුළු 06ක් දැවී ලකුණු 147ක් රැස් කරමින්.

ගාල්ල කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ධනුෂ්ක ගුණතිලක ලකුණු 45කට දැවී ගියා.

නායක භානුක රාජපක්ෂ ලකුණු 22යි.

ලහිරු මධුසංක නොදැවී ලකුණු 22ක් ද ධනංජය ලක්ෂාන් නොදැවී ලකුණු 10ක් ද රැස් කළා.

තරගයේ වීරයා වූයේ ධනංජය ලක්ෂාන්.

LPL තරගාවලියේ 06වැනි සහ 07වැනි තරග අද පැවැත්වීමට නියමිත යි.

පළමු තරගය දඹුල්ල සහ කොළඹ කණ්ඩායම් අතර අද පස්වරු 3.00ට ආරම්භවන අතර දෙවැනි තරගය රාත්‍රී 7.30ට ආරම්භ වන්නේ යාපනය සහ මහනුවර කණ්ඩායම් අතර යි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 December 2021 12:43