March 29, 2024

LPL: 04 වැනි තරගය - දඹුල්ල සහ යාපනය ගැටුමට සිදුවූ දේ

December 08, 2021

LPL තරගාවලියේ 04වැනි තරගය ඊයේ (07) සවස දඹුල්ල (දඹුල්ල ජයන්ට්ස්) සහ යාපනය (ජැෆ්නා කිංස්) කණ්ඩායම් අතර පැවැත්වුණා.

කාසියේ වාසිය දිනාගත් දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි.

ඊයේ තරගයට වනිඳු හසරංගගේ වැඩිමහලු සොයුරා වන චතුරංග ද සිල්වා ද යාපනය කණ්ඩායම සඳහා කැඳවා තිබුණා.

දඹුල්ල ඉනිම

දඹුල්ල කණ්ඩායමේ පළමු කඩුළු 03 ලකුණූ 26ක් තුළ දවා ගන්නට යාපනය පන්දු යවන්නන් සමත් වූවා.

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් යම් ලකුණූ සබඳතාවක් පිහිටුවීමට නායක දසුන් ශානක සහ නුවනිඳු ප්‍රනාන්දු උත්සහ ගත් නමුත් එම සබඳතාව ලකුණු 32කට සීමා වූවා.

මර්චන්ට් දි ලැන්ග් සහ රමේෂ් මෙන්ඩිස් ලකුණූ 25ක සබඳතාවක් පිහිටවූවා.

අනෙක් එකදු පිතිකරුවන් යුගලයකට සැළකිය යුතු සබඳතාවක් පිහිටුවීමට යාපනය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

සියලු දෙනාම දැවී දඹුල්ල කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණූ 110ක් පමණ යි.

ඉනිමෙහි වැඩිම ලකුණූ ලාභියා වූ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 23ක් ලබා ගත් අතර චාමික කරුණාරත්න ලකුණු 18ක් ලබා ගත්තා.

රමේෂ් මෙන්ඩිස් ලකුණු 14කට දැවී යද්දී දසුන් ශානක සහ මර්චන්ට් දි ලැන්ග් ලකුණූ 13 බැගින් ලබා සිටියදී දැවී ගියා.

පන්දු යැවීමේ දී යාපනය කණ්ඩායම නියෝජනය කරන වනිඳු හසරංග ලකුණූ 16කට කඩුළු 03ක් බිඳ හෙලූ අතර මහීෂ් තීක්ෂණ ලකුණු 22කට කඩුළු 03ක් ලබා ගත්තා.

සුරංග ලක්මාල් සහ ජේඩන් සීල්ස් කඩුළු 02 බැගින් බිඳ හෙලුවා.

යාපනය ඉනිම

ලැබුණු පහසු ඉලක්කය පන්දුවාර 12යි පන්දු 03ක දී හඹා යාමට යාපනය කණ්ඩායම සමත් වූවා.

ඒ කඩුළු දෙකක් පමණක් ලබා දෙමින්.

ඔවුන් ලබා ගත් ලකුණු ගණන 114ක්.

ඒ අනුව ඔවුන් තරගය ජය ගත්තේ කඩුළු 08කින්.

රහ්මතුල්ලා ගුර්බාස් ලකුණු 03කටත් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 33කටත් දැවී ගියා.

තරගය ජයග්‍රහණය කරා රැගෙන ගිය ටොම් කොලර්-කැඩ්මෝ නොදැවී ලකුණූ 45කුත් ෂොයීබ් මලික් නොදැවී ලකුණු 26කුත් ලබා ගත්තා.

ගියවර ශූරයන් වූ යාපනය කණ්ඩායම මෙවර තරගාවලියේ දී ලැබූ පළමු ජයග්‍රහණය මෙය යි.

තරගයේ වීරයා වූයේ යාපනය කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ යි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 December 2021 12:35