April 25, 2024

ළහිරු හඬා වැළපෙද්දී හයේ පහර වැස්සකින් සීක්කු තරගය ගොඩ ගනියි (VIDEO)

December 15, 2021

මෙවර LPL තරගාවලියේ 15 වැනි තරගය ඊයේ (14) පැවැත්වුණා.

ඒ මහනුවර (කැන්ඩි වොරියර්ස්) සහ කොළඹ (කලම්බෝ ස්ටාර්ස්) කණ්ඩායම් අතර යි.

මෙම තරගය දෙපාර්ශවයටම තීරණාත්මක වූයේ කොළඹ සහ මහනුවර කණ්ඩායම් දෙකම ලකුණු සටහනේ පහළින්ම සිටීම හේතුවෙන්.

කාසියේ වාසිය දිනාගත් කොළඹ නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.

මහනුවර ඉනිම

ඒ අනුව පිටියට පිවිසුණු මහනුවර ආරම්භක පිතිකරුවන් දෙපළ වූ කෙනර් ලෙවිස් සහ චරිත් අසලංක එක්ව තීරණාත්මක ලකුණූ සබඳතාවක් ගොඩ නැගුවා.

පන්දු 49ක් තුළ ඔවුන් දෙපළ ගොඩනැගූ සබඳතාව ලකුණු 77ක් වූවා.

කෙසේ වෙතත් පළමු කඩුල්ල ලෙස චරිත් අසලංක ලකුණූ 28කට දැවී ගියා.

අහ්මඩ් ශේෂාඩ් ලබාගත්තේ ලකුණූ 02ක් පමණක්වන අතර මහනුවර නායක ඇන්ජලෝ පෙරේරා ද ලකුණූ 02කට දැවී ගියා.

සිය කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නන් එලෙස වගකීම් විරහිතව දැවී යද්දී කෙනර් ලෙවිස් ඉනිමෙහි බර කරට ගෙන ක්‍රීඩා කිරීමට උත්සහ ගත් නමුත් දුෂ්මන්ත චමීරගේ පන්දුවකට කඩුළු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ගේ අතට උඩපන්දුවක් ලබා දෙමින් ඔහු දැවී ගියා.

පන්දු 44ක් තුළ ලෙවිස් ලකුණූ 62ක් රැස් කළ අතර ඊට හයේ පහර 06ක් අන්තර්ගත වීම විශේෂයෙන් කැපී පෙණුනා.

ලෙවිස්ට පසු පිටියට පිවිසි එකදු පිතිකරුවෙකුට හෝ ලකුණු 12 සීමාව පසුකර යාමට හැකි වූයේ නැහැ.

කමිඳු මෙන්ඩිස් ලකුණු 08කටත්, රවී බොපාරා ලකුණු 02කටත්, ටොම් මූර්ස් එක් ලකුණකටත්, සචිඳු කොළඹගේ ලකුණු 06කටත් දැවී යද්දී නිමේෂ් විමුක්ති ලබා ගත්තේ ලකුණු 12ක් පමණ යි.

නියමිත පන්දුවාර 20 අවසන්වන විට නොදැවී ක්‍රීඩා කරමින් සිටි බිනුර ප්‍රනාන්දු ලකුණු 09කුත් ළහිරු කුමාර ලකුණූ 05කුත් ලබා සිටියා.

මහනුවර කණ්ඩායම කඩුළු 09ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 146ක්.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර කඩුළු 04කුත් අෂාන් ප්‍රියන්ජන්, සීක්කුගේ ප්‍රසන්න, රවී රම්පෝල්, නවීන් උල් හක් සහ ධනංජය ද සිල්වා යන අය එක් කඩුල්ල බැගිනුත් ලබා ගත්තා.

කොළඹ ඉනිම

තරගය ජය ගැනීම සඳහා පන්දු 120ක් තුළ කොළඹ කණ්ඩායමට ලබා ගත යුතුව තිබූ ලකුණු ගණන 147ක්.

කෙසේ වෙතත් එය හඹායාම එතරම් පහසු නොවුනේ කොළඹ කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් කිහිපදෙනෙකු අඩු ලකුණූ ගණනකට දවා ගැනීමට මහනුවර පන්දු යවන්නන් සමත් වීමත් සමග යි.

ඉනිමෙහි දෙවැනි පන්දුවේදීම ස්ටම්ප් කිරීමකට ලක්ව කොළඹ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

තික්ෂිල ද සිල්වා හට ලබා ගත හැකි වූයේ ලකුණූ 15ක් පමණයි.

මීලඟ කඩුල්ල ලෙස අශාන් ප්‍රියංජන් ද දැවී ගියේ ලකුණූ 15කට යි.

නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 29කට දැවී ගියේ කොළඹ ඉනිම තවත් පහතට ඇද දමමින්.

කොළඹ කණ්ඩායමේ 04 වැනි කඩුල්ල එලෙස දැවී ගියේ මුලු ලකුණූ ගණන 61ක් බවට පත්වෙද්දීයි.

පැරණි චන්දි ආයෙමත්

ජයග්‍රහණයේ බල‍ාපොරොත්තු මහනුවර කණ්ඩායම දෙසට කැරකෙමින් තිබූ ඒ මොහොතේ දී කොළඹ කණ්ඩායමට බලාපොරොත්තුවක් දෙන්නට දිනේෂ් චන්දිමාල්ට හැකි වූවා.

පන්දු 27ක් තුළ චන්දිමාල් ලබා ගත් ලකුණු ගණන 44ක්.

කෙසේ වෙතත් ඔහුගේ දැවීයාමත් සමග කොළඹ කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන් සිය ජයග්‍රහණයේ බලාපොරොත්තු බොහෝ දුරට අතහැර දැමූ අතර මහනුවර ක්‍රීඩකයන් සිය අත ලඟ පෙනෙන ජයග්‍රහණයෙන් උද්දාමයට පත්ව සිටි අයුරු දක්නට ලැබුණා.

කොළඹ කණ්ඩායම ජයග්‍රහණය කිරීමට නම් පන්දු 14කින් ලකුණු 37ක් ලබාගත යුතුව තිබූ ඒ මොහොතේ දී නව පිතිකරු ලෙස පිටියට පිවිසියේ සීක්කුගේ ප්‍රසන්නයි.

කිසිවෙකු නොසිතූ ලෙසින් ප්‍රසන්න සිය කණ්ඩායම වෙනුවෙන් සටනට පිවිසුණේ විස්තර විචාරකයන් පවා මවිතයට පත් කරමින්.

“අම්මෝ සීක්කු”

තමන් මුහුණ දුන් පළමු පන්දු දෙකටම ඔහු 06 පහරවල් දෙකක් එල්ල කරනු ලැබුවේ ජයග්‍රහණයේ මාවත කොළඹ කණ්ඩායමට විවර කර දෙමින්.

එහෙත් තරගයේ අවසාන පන්දු 05 තුළ කොළඹ කණ්ඩායමට ලකුණූ 15ක ඉලක්කයක් ලැබී තිබුණා.

තමන් මුහුණ දුන් තුන්වැනි පන්දුවට ද ප්‍රසන්න හයේ පහරක් එල්ල කළේ මහනුවර ක්‍රීඩකයින්ව අසරණ කරවමින්.

එම හයේ පහරට පසුව ආ පන්දුවට ද සීක්කුගේ ප්‍රසන්නගෙන් එල්ල වූයේ හයේ පහරක්ම යි.

ඒ අනුව තරගයේ අවසන් පන්දු 03 තුළ ලකුණූ 03ක් ලබා ගැනීම දක්වා කොළඹ කණ්ඩායමේ ඉලක්කය පහසු වූවා.

එලෙස උණුසුම්කාරී වූ තරගයේ 19 වැනි පන්දුවාරයේ 04 වැනි තීරණාත්මක පන්දුව ළහිරු කුමාර විසින් යැවූ අතර ප්‍රේක්ෂකයන් සියලුදෙනා මවිතයට පත් කරවමින් සීක්කුගේ ප්‍රසන්න එයට ද දැවැන්ත හයේ පහරක් එල්ල කළේ පරාජය පෙනි පෙනී සිටි කොළඹ කණ්ඩායම ජයග්‍රහණය කරා ඔසවමින්.

ඒ අනුව තරගයේ තවත් පන්දු 02ක් ඉතිරිව තිබියදී කොළඹ කණ්ඩායම එම තරගය ජයගත් අතර කඩුලු 05ක් දැවී ඔවුන් ලකුණු 150ක් ලබා ගත්තා.

මෙවර LPL තරගාවලියේ දී කොළඹ කණ්ඩායම සිය ප්‍රචාරණ කටයුතු සඳහා “අම්මෝ කලම්බෝ” යන වදන භාවිත කරන අතර සීක්කුගේ ප්‍රසන්නගේ දස්කමින් අනතුරුව “අම්මෝ සීක්කූ” යන්න සමාජ ජාල තුළ පැතිරෙන අයුරු ද දක්නට ලැබුණා.

මේ අතර සිය පිත්තෙන් විශ්මිත ලෙස දස්කම් දැක්වූ සීක්කුගේ ප්‍රසන්න සිය ජයග්‍රාහී සතුට සමරද්දී, තරගයේ අවසාන පන්දුවාරය යැවූ ළහිරු කුමාර කඳුළු සලමින් හඬා වැටුණු අතර එම දසුන ප්‍රේක්ෂකයන්ට සංවේදී දසුනක් ද වූවා.

පන්දු යැවීමේ දී මහනුවර කණ්ඩායමේ නිමේෂ් විමුක්ති කඩුලු 02ක් ද කමිඳු මෙන්ඩිස්, සචිඳු කොළඹගේ සහ චරිත් අසලංක එක් කඩුල්ල බැගින් ද ලබා ගත්තා.

තරගයේ විශේෂ අවස්ථා වීඩියෝව පහතින්…

Rate this item
(2 votes)
Last modified on Wednesday, 15 December 2021 12:12