April 25, 2024

LPL සැණකෙළිය අවසන් - කුසලානය මෙවරත් ගියවර ශූරයන්ටම

December 23, 2021

2021 ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL තරගාවලියේ අවසාන මහා තරගය මීට සුළු මොහොතකට පෙර අවසන් වූවා.

ඒ යාපනය (ජැෆ්නා කිංස්) කණ්ඩායමට ජය ගෙන දෙමින්.

යාපනය කණ්ඩායම තරගය ජයගත්තේ ලකුණු 23කින්.

පසුගියවර LPL ශූරතාවයට හිමිකම් කීවේ ද යාපනය කණ්ඩායම වූ අතර ඒ අනුව පිට පිටම දෙවැනි වරටත් තිසර පෙරේරාගේ නායකත්වය යටතේ LPL කුසලානය ජය ගැනීමට යාපනය කණ්ඩායම සමත් වූවා.

එමෙන්ම ගියවර අනුශූරයන් වූ ගාල්ල (ගෝල් ග්ලැඩියේටර්ස්) කණ්ඩායම මෙවරත් අනුශූරයන් බවට පත් වීම විශේෂත්වයක්

යාපනය ඉනිම

තරගයේ කාසියේ වාසිය දිනාගත් යාපනය නායක තිසර පෙරේරා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි.

ඒ අනුව පිටියට පිවිසි යාපනය ආරම්භක පිතිකරුවන් දෙපල වූ අවිශ්ක ප්‍රනාන්දු සහ රහ්මතුල්ලා ගුර්බාස් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ සබඳතාව ලකුණූ 56ක්.

පන්දු 18ක් තුළ ලකුණු 35ක් ලබා සිටි ගුර්බාස් දැවී ගියේ සමිත් පටෙල් යැවූ පන්දුවකට කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

කෙසේ වෙතත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සබඳතාවයක් ගොඩ නැගීමට අවිශ්ක ප්‍රනාන්දු සහ ටොම් කොලර්-කැඩ්මෝ සමත් වුණා.

එම සබඳතාව බිඳී ගියේ දෙවැනි කඩුල්ල ලෙස අවිශ්ක ප්‍රනාන්දු දැවී යාමත් සමග යි. 

පන්දු 41ක් තුළ ඔහු හයේ පහර 02ක් සහ හතරේ පහර 08ක් සමගින් ලකුණු 63ක් ලබා ගත්තා. 

තිසර පෙරේරා යැවූ පන්දුවකට ධනුෂ්ක ගුණතිලක අතට උඩපන්දුවක් ලබා දී ඔහු දැවී යද්දී මුලු ලකුණු ගණන සටහන් වූයේ 119ක් ලෙසින්.

දෙවැනි කඩුල්ල එලෙස දැවී යද්දී පිටියට ආ ෂොයීබ් මලික් සහ කොලර්-කැඩ්මෝ එක්ව ලකුණූ 62ක සබඳතාවක් ගොඩ නැගූ අතර පන්දු 11කින් ලකුණූ 23ක් ලබා සිටි මලික් තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ මොහොමඩ් අමීර්ගේ පන්දුවකට පුලින තරංග අතට උඩපන්දුවක් යොමු කරමින්.

නියමිත පන්දු වාර 20 අවසන්වන විට නොදැවී ක්‍රීඩා කරමින් සිටි ටොම් කොලර්-කැඩ්මෝ ලකුණු 57ක් ද නායක තිසර පෙරේරා ලකුණු 17ක් ද ලබා සිටියා. 

කඩුළු 03ක් පමණක් දැවී යාපනය කණ්ඩායම ලබා ගත් මුලු ලකුණු ගණන 201ක්.

ඒ අනුව තරගය ජය ගැනීමට ගාලු කණ්ඩායමට ලකුණූ 202ක දැවැන්ත ඉලක්කයක් ලැබී තිබුණා.

ගාල්ල ඉනිම

ලැබී තිබූ ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ගාලු ආරම්භක පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් ඉතා හොඳ ආරම්භයක් ලබා ගනිමින් වේගවත් ලකුණු රැස් කිරීමක නිරත වූයේ යාපනය පන්දු යවන්නන් අසරණ කරමින්.

පළමු කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා පන්දු 26ක් තුළ ලකුණූ 63ක් රැස් කළා.

කෙසේ වෙතත් පස්වැනි පන්දු වාරයේ දී ධනුෂ්ක ගුණතිලක දැවී ගියේ ඉතා හොඳින් පන්දුවට පහර දෙමින් සිටිය දී. 

වනිඳු හසරංගගේ පන්දුවකට ධනුෂ්ක එල්ල කළ පහරක් මනරම් අයුරින් උඩපන්දුවක් ලෙස රැක ගන්නට තිසර පෙරේරා සමත් වුණා.

දැවී යන විට ධනුෂ්ක ගුණතිලක ලකුණු 54ක් ලබා සිටි අතර ඒ සඳහා ඔහු වැය කළේ පන්දු 21ක් පමණ යි. 

හතරේ පහර 07ක් සහ හයේ පහර 03ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

කෙසේ වෙතත් ධනුෂ්ක ලබා ගත් ආරම්භය ඉදිරියට රැගෙන යාමට ගාලු කණ්ඩායමේ අනෙක් පිතිකරුවන් සමත් වූයේ නැහැ.

දෙවැනි කඩුල්ල ලෙස බෙන් ඩන්ක් ලකුණු නොලබාම දැවී ගියේ ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්මයි. 

වනිඳු හසරංගගේ පන්දුවකට ඩන්ක් එල්ල කළ පහරක් උඩ පන්දුවක් ලෙසින් රැක ගත්තේ සුරංග ලක්මාල් විසින්.

මොහොමඩ් හෆීස් ලකුණු 10කට දැවී ගියේ දුවද්දී දැවී යාමකට හසු වෙමින්.

කඩුළු 03ක් එලෙස දැවී යද්දී ගාලු කණ්ඩායමේ බලාපොරොත්තුව වූ නායක භානුක රාජපක්ෂ හට ද සාර්ථක වීමට යාපනය කණ්ඩායම ඉඩ ලබා දුන්නේ නැහැ. 

මහීෂ් තීක්ෂණගේ පන්දුවකට භානුක එල්ල කළ පහරක් උඩ පන්දුවක් බවට පත් වූ අතර එය රැක ගත්තේ  වනිඳු හසරංග විසින්. 

භානුක රැස් කළේ ලකුණූ 14ක් පමණ යි. 

ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කිරීමට උත්සහ දැරූ කුසල් මෙන්ඩිස් 05 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 39ක් ලබා සිටිය දී. 

ඔහුව දුවද්දී දැවී යාමකට හසුකරගත්තේ තිසර පෙරේරා විසින්. 

ධනංජය ලක්ෂාන් හට ලබා ගත හැකි වූයේ ලකුණු 02ක් පමණයි.

චතුරංග ද සිල්වා විසින් යැවූ පන්දුවකට චතුරංගගේ සොයුරු හසරංග අතට උඩපන්දුවක් ලබා දෙමින් ලක්ෂාන් දැවී ගියා. 

පුලින තරංග හට ලබා ගත හැකි වූයේ ලකුණු 04ක් පමණ යි.  

පන්දුව කෙලින්ම කඩුල්ලට යොමු කරමින් එම කඩුල්ල දවා ගත්තේ ද චතුරංග ද සිල්වා විසින්. 

සමිත් පටෙල් 08 වැනි කඩුල්ල ලෙසින් දැවී ගියේ ලකුණූ 22කට යි. ඒ සුරංග ලක්මාල්ගේ පන්දුවකට සීල්ස් අතට උඩපන්දුවක් ලබා දෙමින්. 

ගාලු පිතිකරණ ලැයිස්තුවේ අවසන් බලාපොරොත්තුව වූ ඉසුරු උදාන ලකුණු 09කට දැවී ගියා. 

සීල්ස්ගේ පන්දුවකට ෂොයීබ් මලික් අතට උඩපන්දුවක් ලබා දී ඔහු දැවී ගියා. 

නියමිත පන්දුවාර 20 නිමාවන විට නොදැවී ක්‍රීඩා කරමින් සිටි මොහොමඩ් අමීර් ලකුණු 06ක් ද නුවන් තුෂාර ලකුණු 05ක් ද ලබා සිටියා. 

තරගයේ අවසන් භාගයේ දී වනිඳු හසරංග පාදයේ ආබාධයකට ලක් වීම ද කැපීපෙනෙන සිදුවීමක් වූවා.

ඔහු එම අවස්ථාවේ දී පන්දු රැකීමෙන් ඉවත්ව ගියා.

පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ගාල්ල කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණූ 178ක් පමණ යි. 

ඒ අනුව යාපනය කණ්ඩායම ලකුණු 23කින් තරගය ජය ගත්තා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 December 2021 23:21