April 25, 2024

කුසල් මෙන්ඩිස් ඉදිරියේ යාපනයේ රජවරු දණ නමයි (VIDEO)

December 20, 2021

මෙවර LPL තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමට ගාල්ල (ගෝල් ග්ලැඩියේටර්ස්) කණ්ඩායම ඊයේ (20) සමත් වුණා.

ඒ් ගියවර LPL ශූරයන් වූ යාපනය (ජැෆ්නා කිංස්) කණ්ඩායම අන්ත පරාජයකට ලක් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් යාපනය නායක තිසර පෙරේරා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ අනුව පිටියට පිවිසි ගාලු ආරම්භක පිතිකරුවන් දෙපළ වූ කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක යාපනය කණ්ඩායමට ලබා දුන්නේ නොසිතූ පීඩනයක්.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් පිහිටවූ ලකුණු සබඳතාව 121ක් වීම කැපී පෙණුනා.

එය LPL ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු තැබූ වැඩිම ලකුණු සබඳතාව ලෙස යි ඉතිහාසගත වන්නේ.

කුසල් සහ ධනුෂ්ක දෙදෙනා හමුවේ යාපනය පන්දු යවන්නන් අසරණ වෙද්දී නායක තිසර පෙරේරා පළමු කඩුල්ල ලබා ගත්තා.

එලෙස දැවී ගියේ ලකුණු 55ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලක යි.

ඔහුගේ ඉනිමට එක් හයේ පහරකුත් හතරේ පහර 06කුත් අන්තරගත වූවා.

ගාලු කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ද දවා ගත්තේ තිසර පෙරේරා විසින්.

ලකුණූ 12ක් ලබා සිටි අන්වර් අලීගේ කඩුල්ල එලෙස දැවී යද්දී ගාල්ල මුලු ලකුණූ ගණන 147 වී තිබුණා.

මුලු ලකුණු ගණන 175 වෙද්දී ගාලු කණ්ඩායමේ තෙවැනි කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් දැවී ගියා.

අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කළ ඔහු දැවී ගියේ ලකුණූ 85කට යි.

ඔහුගේ ඉනිමට හයේ පහර 04කුත් හතරේ පහර 07කුත් ඇතුළත් වීම විශේෂත්වයක්.

මොහොමඩ් හෆීස් හට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණ යි.

ඉනිමෙහි අවසන් පන්දුවේ දී දැවී ගිය නායක භානුක රාජපක්ෂ ලකුණූ 25ක් රැස් කළා.

ඒ හයේ පහර 03ක් ද ඇතුළත්වයි.

නියමිත පන්දුවාර 20 අවසන්වන විට කඩුළු 05ක් දැවී ගොස් සිටි ගාලු ලකුණු පුවරුවේ මුලු ලකුණු ගණන සටහන් වූයේ  188ක් ලෙස යි.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා යාපනය කණ්ඩායමට පන්දු 120ක් තුළ ලකුණු 189ක දැවැන්ත ඉලක්කයක් ලැබී තිබුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ඉනිමෙහි පළමු පන්දුවටම දැවැන්ත 06 පහරක් එල්ල කළ නමුත් ඉන් අනතුරුව ආ දෙවැනි පන්දුවෙන්ම ඔහු දවා ගන්නට මොහොමඩ් අමීර් සමත් වූවා.

ඉනිමෙහි දෙවැනි පන්දුවෙන්ම ආරම්භ වූ කඩුළු දැවී යාම නවතාලන්නට යාපනය පිතිකරුවන්ට හැකි වූයේ නැහැ.

ඒ අනුව යාපනය පිතිකරුවන් දැවී ගියේ ඉතා අඩු ලකුණු ප්‍රමාණයන් ලබා ගනිමින්.

රහ්මතුල්ලා ගුර්බාස් පමණක් හුදෙකලා සටනක නිරත වූ අතර ඔහු ලබා ගත් ලකුණු ගණන 59ක්.

වනිඳු හසරංග ලකුනු 29ක් ලබා ගත්තා.

අනෙක් එකදු පිතිකරුවෙකුට හෝ ලකුණු 10 සීමාවවත් පසුකර යාමට ගාලු පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ.

සියළු දෙනාම දැවී යාපනය කණ්ඩායම රැස් කළේ ලකුණූ 124ක් පමණ යි.

ඒ අනුව ගාලු කණ්ඩායම ලකුණු 64කින් තරගය ජය ගත්තේ මෙවර LPL තරගාවලියේ අවසාන මහා තරගයේ සිය ඉඩ වෙන්කරවා ගනිමින්.

පන්දු යැවීමේ දී ගාලු කණ්ඩායමේ නුවන් තුෂාර කඩුළු 05ක් දවා ගත්තේ ලකුණු 13ක් පමණක් ලබා දෙමින්.

තරගයේ වීරයා බවට පත් වූයේ පන්දු 53කින් ලකුණු 85ක් ලබා ගත් කුසල් මෙන්ඩිස්.

මේ අතර ඊයේ තරගයෙන් පරාජයට පත් යාපනය කණ්ඩායමට අවසන් මහා තරගය සඳහා යාමේ බලාපොරොත්තුව තවමත් සම්පූර්ණයෙන්ම බොඳව ගොස් නැහැ.

ඊයේ සවස පැවැති අවසන් වටයේ පළමු තරගයෙන් ජයගත් දඹුල්ල කණ්ඩායමට එරෙහිව ඔවුන් හෙට රාත්‍රියේ තරගවදින අතර එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 23 වැනි දා ගාල්ල කණ්ඩායම සමග අවසාන මහා තරගයේ දී කුසලානය වෙනුවෙන් සටන් වදිනු ඇති.

Rate this item
(0 votes)
Last modified on Monday, 20 December 2021 13:26