April 25, 2024

අයියයි මල්ලියි වැඩ පෙන්වයි - දඹුල්ල අසරණ වෙයි (VIDEO)

December 14, 2021

මෙවර LPL තරගාවලියේ 14 වැනි තරගය ඊයේ (12) පැවැත්වුණා.

ඒ දඹුල්ල කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර යි.

කාසියේ වාසිය දිනාගත් යාපනය නායක තිසර පෙරේරා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි දඹුල්ල පිතිකරුවන් අසරණ කිරීමට යාපනය කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් සමත් වුණා.

ප්‍රථම කඩුල්ල ලෙස නිරෝෂන් දික්වැල්ල එක් ලකුණකට දවාගන්නට මහීෂ් තීක්ෂණ සමත් වූයේ තරගයේ පළමු පන්දුවාරයේදීමයි.

එම පන්දුවාරයේම ඊළග පන්දුවේ දී දඹුල්ල කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ද දවා ගැනීමට තීක්ෂණ සමත් වූවා.

තීක්ෂණ විසින්ම ලබා ගත් අසීරු උඩපන්දුවකින්, තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබාම එලෙස දැවී ගියේ සොහයිබ් මක්සූඩ්ගේ කඩුල්ල යි.

දඹුල්ල මුලු ලකුණු ගණන 09 බවට පත්වෙද්දී තුන්වැනි කඩුල්ල ද දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වුවා.

ලකුණු 02ක් පමණක් ලබා සිටි නුවනිඳු ප්‍රනාන්දු එලෙස දැවී ගියා.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූයේ ශ්‍රී ලංකා තුන් ඉරියව් තරුව, වනිඳු හසරංගගේ සොයුරාවන චතුරංග ද සිල්වා යි.

06 වැනි පන්දු වාරයේ පළමු පන්දුවේදීම දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානකව දවා ගන්නට චතුරංග සමත් වුණා.

ශානක ලබා සිටියේ ලකුණු 06ක් පමණ යි.

05 වැනි කඩුල්ල ද දවා ගත්තේ චතුරංග විසින්ම යි.

ලකුණු 07ක් ලබා සිටි රමේෂ් මෙන්ඩිස් එලෙස දැවී ගියා.

සිය සොයුරාට පසු 06 වැනි කඩුල්ල වනිඳු හසරංග විසින් ලබා ගත් අතර දඹුල්ල ඉනිමට යම් ලකුණූ ප්‍රමාණයක් එක් කරන්නට වෙහෙසුණු ෆිල් සෝල්ට් එලෙස දැවී ගියා.

සෝල්ට් ලබා ගත් ලකුණු ගණන 23ක්.

තරගයේ 10 වැනි පන්දුවාරයේ දී යළි පන්දුව අතට ගත් චතුරංග ද සිල්වා දඹුල්ල කණ්ඩායමේ 07 වැනි කඩුල්ල ද දවා ගැනීමට සමත් වුණා.

අවිශ්ක ප්‍රනාන්දු විසින් රැකගත් මනරම් උඩපන්දුවකින් එලෙස දැවී ගියේ චාමික කරුණාරත්න යි.

ඔහුට එකදු ලකුණක් හෝ ලබා ගැනීමට නොහැකි වුණා.

දඹුල්ල කණ්ඩායමේ 07 වැනි කඩුල්ල එලෙස දැවී ගියේ මුලු ලකුණු ගණන 39ක් ලෙස සටහන්ව තිබිය දී යි.

සිය කඩුළු ගොන්නට තවත් කඩුල්ලක් ලෙස 08 වැනි කඩුල්ල ද චතුරංග ද සිල්වා විසින් දවා ගත්තේ සිය හොඳම විස්සයි 20 පන්දු යැවීම වාර්තා කරමින්.

ලකුණු 14ක් ලබා සිටි තරිඳු රත්නායක එලෙස දැවී ගියා.

දඹුල්ල කණ්ඩායමේ 09 වැනි කඩුල්ල ලෙස ඉම්රාන් තහීර්ගේ කඩුල්ල දවා ගත්තේ ශොයීබ් මලික් විසින්.

තහීර් ලකුණූ 08ක් ලබා සිටියා.

අවසන් කඩුල්ල අශේන් බණ්ඩාර විසින් දවා ගත්තා.

එලෙස දැවී ගියේ ලකුණු 04ක් ලබා සිටි නුවන් ප්‍රදීප්.

මෙලෙස දඹුල්ල කණ්ඩායමේ සියළු පිතිකරුවන් දැවී යද්දී අනෙක් පස නොදැවී ක්‍රීඩා කරමින් සිටි ජෝෂ් ලිට්ල් එකදු ලකුණක් හෝ ලබා නොගෙන සිටියා.

14 වැනි පන්දු වාරය නිමා වෙද්දී දඹුල්ල ඉනිම නිමා වූ අතර සියලු දෙනා දැවී ඔවුන් රැස් කළේ ලකුණු 69ක් පමණ යි.

ඒ අනුව යාපනය පිතිකරුවන්ට පන්දු 120ක් තුළ තරගය ජය ගැනීම සඳහා ලැබුණු පහසු ඉලක්කය වූයේ ලකුණු 70ක්.

කෙසේ වෙතත් යාපනය ආරම්භක පිතිකරු උපුල් තරංග ලකුණු 02කට දවා ගැනීමට ඉම්රාන් තහීර් සමත් වූයේ යාපනය මුලු ලකුණූ ගණන 14ක් බවට පත්ව තිබියදී යි.

එහෙත් මීලඟ පිතිකරු ලෙස පිටියට පිවිසි වනිඳු හසරංග පිත්තෙන් දස්කම් දක්වන්නට වූවා.

පන්දු 18ක් තුළ හසරංග රැස් කළ ලකුණු ගණන 37ක්.

ඔහුගේ ඉනිමට හයේ පහර 02ක් සහ හතරේ පහර 05ක් ඇතුළත් වූවා.

ජෝෂ් ලිට්ල්ගේ පන්දුවකට චාමික කරුණාරත්න වෙතට උඩපන්දුවක් ලබා දෙමින් හසරංග දැවී යන විට යාපනය මුලු ලකුණු ගණන 53ක් වූවා.

මීලඟ පිතිකරු ලෙස පිටියට පිවිසි ටොම් කොහ්ලර්-කැඩ්මෝර් හට කිසිදු ලකුණක් ලබා ගැනීමට ඉම්රාන් තහීර් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී ඔහු දැවී ගියා.

කෙසේ වෙතත් අවිශ්ක ප්‍රනාන්දු සහ අශේන් බණ්ඩාර යාපනය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ඔවුන් තරගය ජය ගන්නා විට අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 22කුත්, අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 04කුත් ලබා සිටියා.

කඩුළු 03ක් දැවී යාපනය කණ්ඩායම ලබා ගත් ලකුණු ගණන 71ක්.

ඒ අනුව ඔවුන් තරගය ජය ගත්තේ කඩුළු 07කින්.

එමෙන්ම තරගයේ තවත් පන්දු 64ක් ඉතිරිව තිබියදී ඔවුන් මෙම තරගය ජය ගැනීම ද විශේෂත්වයක්.

තරගයේ වීරයා බවට පත් වූයේ ලකුණු 16කට කඩුළු 04ක් බිඳ දැමූ චතුරංග ද සිල්වා යි.

ඔහුගේ සොයුරු වනිඳු හසරංග ඊයේ තරගයේ "පවර් හිටර්" සම්මානය දිනා ගත්තා.

තරගයේ විශේෂ අවස්ථා වීඩියෝව පහතින්…

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 December 2021 13:50