April 17, 2024

ගාලු පන්දු යවන්නන් ඉදිරියේ ජනිත්ගේ අර්ධ ශතකය අපතේ යයි (VIDEO)

December 15, 2021

මෙවර LPL තරගාවලියේ 16 වැනි තරගය ඊයේ (15) රාත්‍රියේ දී නිමා වූවා.

එය පැවැත්වුණේ ගාලු කණ්ඩායම (ගෝල් ග්ලැඩියේටර්ස්) සහ දඹුල්ල කණ්ඩායම (දඹුල්ල ජයන්ට්ස්) අතර යි.

තරගයට පෙර වැසි ඇදවැටුණු නිසා එක් කණ්ඩායමකට ලැබෙන පන්දුවාර ගණන 14 තෙක් සීමා වූවා.

ගාලු ඉනිම

කාසියේ වාසිය දිනූ දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ගාලු පිතිකරුවන් නියමිත පන්දුවාර 14 තුළ දී කඩුළු 07ක් දැවී රැස් කරගත් ලකුණු ගණන 134ක්.

කුසල් මෙන්ඩිස් ලකුණු 35කුත් නායක භානුක රාජපක්ෂ ලකුණූ 33කුත් ලබා ගත් අතර ධනුෂ්ක ගුණතිලක ලබා ගත් ලකුණු ගණන 22ක්.

දඹුල්ල ඉනිම

පන්දු 84ක දී ලකුණු 135ක ඉලක්කයක් තරගය ජය ගැනීම සඳහා දඹුල්ල කණ්ඩායමට ලැබී තිබුණා.

තමන් මුහුණ දුන් තෙවැනි පන්දුවෙන්ම ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබාම දැවී ගියත්, තරගය සියතට ගැනීමට ෆිල් සෝල්ට් සහ ජනිත් ලියනගේ ක්‍රියා කළා.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 63ක් තුළ ඔවුන් දෙදෙනා එක්ව රැස් කළ ලකුණු ගණන 90ක්.

කෙසේ වෙතත් ලකුණූ 41ක් ලබා සිටිය දී සෝල්ට් දැවී ගිය අතර ජනිත් ලියනගේ දැවී ගියේ ලකුණූ 51කට යි.

ඔවුන් දෙදෙනාගේ දැවී යාමෙන් අනතුරුව දඹුල්ල කණ්ඩායමේ බලාපොරොත්තු සුන් වූයේ ඉන් පසු පැමිණි එකදු පිතිකරුවෙකුට හෝ සාර්ථක වන්නට ඉඩ නොලැබුණු හෙයින්.

ජයග්‍රහණය

නියමිත පන්දුවාර 14 අවසන් වෙද්දී කඩුළු 05ක් දැවී දඹුල්ල කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ ලකුණු 125ක් පමණයි.

ඒ අනුව ගාල්ල කණ්ඩායම ලකුණු 09කින් තරගය ජය ගත්තා.

තරගයේ වීරයා බවට පත් වූයේ ලකුණු 24කට කඩුළු 02ක් බිඳ හෙලූ සමිත් පටෙල්.

තරගයේ විශේෂ අවස්ථා පහතින්..

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 December 2021 06:04