April 28, 2024

මැදියම් රෑ අවසන් වූ කොළඹ - ගාලු සටන

December 07, 2021

මෙවර LPL තරගාවලියේ තුන්වැනි තරගය ඊයේ (06) රාත්‍රියේ පැවැත්වුණා.

ඒ ගාල්ල (ගෝල් ග්ලැඩියේටර්ස්) සහ කොළඹ (කලම්බෝ ස්ටාර්ස්) කණ්ඩායම් අතර යි.

කාසියේ වාසිය දිනාගත් ගාල්ල නායක භානුක රාජපක්ෂ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ගාලු ඉනිම

ඒ අනුව පිටියට පිවිසුණු ගාලු ආරම්භක පිතිකරුවන්ගේ සබඳතාවය ගොඩ නැගුණේ ලකුණූ 04ක් දක්වා පමණයි.

ආරම්භක පිතිකරුවන් වූ, ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් යන දෙදෙනා ලබා ගත් ලකුණූ ගණන පිළිවෙලින් 1ක් සහ 04ක්.

මොහමඩ් හෆීස් ලකුණු 08කට දැවී ගියේ ගාලු ඉනිම තවත් පහතට ඇද දමමින්.

කෙසේ වෙතත් බෙන් ඩක් සහ සමිත් පටෙල් ඉනිම ගොඩ ගන්නට යම් උත්සාහයක් ගත්තේ ලකුණු 43ක සබඳතාවක් ගොඩ නගමින්.

කෙසේ වෙතත් පටෙල් ලකුණු 14කටත් ඩක් ලකුණු 38කටත් දැවී ගියා.

ගාලු නායක භානුක රාජපක්ෂට ද සිය සුපුරුදු ක්‍රීඩා විලාශය වෙත යාමට කොළඹ කණ්ඩායම ඉඩ ලබා දුන්නේ නැහැ.

ඔහු ලකුණු 02කට දැවී යද්දී පුලින තරංග ලකුණූ 05කටත්, ලහිරු මදුසංක ලකුණු 03කටත් දැවී ගියා.

ගාලු කණ්ඩායමේ කඩුළු 08ක් දැවී ගියේ ලකුණු 77ක් තුළ යි.

එවන් පසුබිමක ඔවුන් හට මුලු ලකුණු ගණන සියය හෝ ඉක්මවීමට නොහැකි වේ යැයි සැවොම සිතුවත් ඉසුරු උදාන සහ නූර් අහ්මඩ් එක්ව ගොඩ නැගූ ලකුණු 39ක සබඳතාව ගාලු කණ්ඩායමට බලාපොරොත්තුවක් ගෙන දුන්නා.

නියමිත පන්දුවාර 20 ඇතුළත කඩුළු 08ක් සැවී ගාල්ලට ලබා ගත හැකි වූ ලකුණු ගණන 116ක්.

ඊයේ (06) තරගයේ දී කොළඹ කණ්ඩායමේ නායකත්වය දැරූ ධනංජය ද සිල්වා පන්දු යැවීමෙන් සහ රැකීමෙන් විශිෂ්ඨ දස්කම් දැක්වූ අතර ඔහු ලකුණු 18කට කඩුළු 02ක් බිඳහෙලුවා.

අකිල ධනංජය ලකුණු 19කට කඩුළු 02ක් බිඳ හෙලූ අතර දුෂ්මන්ත චමීර ද කඩුළු 02ක් බිඳ හෙලුවේ ලකුණු 25ක් ලබා දෙමින්.

ඩේවිඩ් වීස සහ සීක්කුගේ ප්‍රසන්න එක් කඩුල්ල බැගින් ලබා ගත්තා.

කොළඹ ඉනිම

ලැබී තිබු ලකුණු 117ක ඉලක්කය පහසු ඉලක්කයක් සේ පෙනුනත් ගාලු කණ්ඩායමේ පන්දුයවන්නන් හට මුහුණ දීමට කොළඹ ක්‍රීඩකයින්ට ලෙහෙසි වූයේ නැහැ.

පැතුම් නිස්සංක එක් ලකුණකට දැවී යාමත් සමග කොළඹ ආරම්භක පිතිකරු සබඳතාව ලකුණූ 13කට සීමා වුණා.

ටොම් බැන්ටන්ට ද ලබා ගැනීමට හැකි වූයේ ලකුණූ 10ක් පමණ යි.

කුසල් ජනිත් පෙරේරා ලකුණු 08කට දැවී ගියා.

ෂර්ෆන් රදර්ෆර්ඩ් ලකුණු 10යි.

කොළඹ කණ්ඩායමේ සිව්වැනි කඩුල්ල එලෙස දැවී යද්දී මුලු ලකුණු ගණන 45ක් තරම් අඩු අගයක් වූවා.

කෙසේ වෙතත් නායක ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් එක්ව ගොඩ නැගූ ලකුණූ 27ක සබඳතාව කොළඹ කණ්ඩායමට යම් කිසි ජීවයක් ගෙන දුන්නා.

ධනංජය ලකුණු 24කට දැවී යාමත් සමග එම සබඳතාව බිඳී ගියත් චන්දිමාල් සමග එක් වූ ඩේවිඩ් වීස ලකුණූ 31ක සබඳතාවත් ගොඩ නැගුවා.

වීස දැවී ගියේ ලකුණු ලකුණු 22කට යි.

ජයග්‍රහණය සඳහා උත්සාහය අත නොහැරි චන්දිමාල් අනෙක් පස සිටි සීක්කුගේ ප්‍රසන්න සමග එක්ව 07 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 14ක සබඳතාවක් ගොඩ නැගුවේ කොළඹ කණ්ඩායමට හිමිව තිබූ ඉලක්කය පසුකර යමින්.

කඩුලු 06ක් දැවී සිටි කොළඹ කණ්ඩායම ඒ අනුව 18 වැනි පන්දුවාරයේ දී ලකුණු 117ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා.

ඔවුන් තරගය ජය ගත්තේ කඩුළු 04කින්.

පන්දු යැවීමේ දී ගාල්ල කණ්ඩායමේ නුවන් තුෂාර ලකුණු 26කට කඩුලු 02ක් බිඳ හෙලූ අතර පුලින තරංග ද කඩුළු 02ක් බිඳ හෙලුවේ ලකුණු 31ක් ලබා දෙමින්.

මොහොමඩ් හෆීස් සහ නූර් අහ්මඩ් අතර එක්ක කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ධනංජය ද සිල්වා යි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 December 2021 09:44