April 24, 2024

LPL ඉතිහාසය යළි ලියැවෙයි - උතුර දකුණ මහා සටන අද

December 23, 2021

අද (23) රාත්‍රියේ පැවැත්වෙන, මෙවර LPL තරගාවලියේ අවසාන මහා තරගයට ගාලු කණ්ඩායම (ගෝල් ග්ලැඩියේටර්ස්) මේවන විටත් සුදුසුකම් ලබා අවසන්.

ඔවුන් සමග අවසන් තරගයේ දී සටනට පිවිසෙන අනෙක් කණ්ඩායම තෝරා ගන්නා දෙවැනි “කොලිෆයර්” තරගය ද උණුසුම් ලෙස නිමා වුණා.

තරගය පැවැත්වුණේ දඹුල්ල කණ්ඩායම (දඹුල්ල ජයන්ට්ස්) සහ පසුගිය වර LPL ශූරයන් වූ යාපන කණ්ඩායම (ජැෆ්නා කිංස්) අතර යි.

දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක ආබාධයකට ලක් වීම හේතුවෙන් තරගයට සහභාගී නොවූ අතර නායකත්වයේ වැඩ බැලුවේ නිරෝෂන් දික්වැල්ල යි.

කාසියේ වාසිය දිනා ගත් දික්වැල්ල ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.

යාපනය ඉනිම

ඒ අනුව පිටියට පිවිසි යාපනය ආරම්භක පිතිකරුවන් දෙපළ වූ අවිශ්ක ප්‍රනාන්දු සහ රහ්මතුල්ලා ගුර්බාස් එක්ව දඹුල්ල පන්දු යවන්නන් අසරණ කරවූයේ තරගයේ ආරම්භයේ සිටම යි.

පළමු කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා පිහිටවූ දැවැන්ත ලකුණූ සබඳතාව 122ක්.

එම සබඳතාව බිඳී ගියේ ලකුණූ 70ක් ලබා සිටි ගුර්බාස්ගේ කඩුල්ල චාමික කරුණාරත්න විසින් දවා ගැනීමත් සමග යි.

ලකුණූ 70 වාර්තා කිරීමට රහ්මතුල්ලා ගුර්බාස් හට වැය වූයේ පන්දු 40ක් පමණ යි.

දෙවැනි කඩුල්ල ලෙස පන්දු 08කින් ලකුණු 15ක් ලබා ගත් ටොම් කොලර්-කැඩ්මෝ දැවී ගියා.

මේ අතර සිය පළමු පන්දුවාර 20 ශතකය වාර්තා කිරීමට අවිශ්ක ප්‍රනාන්දු සමත් වුණා.

අවිශ්ක ලකුණූ 100 ලබා ගත්තේ පන්දු 63ක දී.

කෙසේ වෙතත් ලකුණූ 100ක් වාර්තා කළ සැණින් ඔහු දැවී ගියා.

ශොයීබ් මලික් ලකුණු 06කට දැවී ගිය අතර තිසර පෙරේරා නොදැවී ලකුණු 11ක් රැස් කළා.

නියමිත පන්දුවාර 20 අවසානයේ යාපනය කණ්ඩායම කඩුළු 04ක් දැවී ලබා ගත් ලකුණු ගණන 210ක්.

දඹුල්ල ඉනිම

ඒ අනුව දඹුල්ල පිතිකරුවන්ට පන්දු 120ක් තුළ ලැබුණු ඉලක්කය ලකුණූ 211ක්.

ආරම්භක පිතිකරුවන් යුගල වූ නායක නිරෝෂන් දික්වැල්ල සහ ෆිල් සෝල්ට් සිය ඉනිමට හොඳ ආරම්භයක් ලබා දුන්නා.

කෙසේ වෙතත් වනිඳු හසරංග ලබා ගත් අනර්ඝ උඩ පන්දුවකින් ලකුණු 22ක් ලබා සිටි සෝල්ට් දැවී ගියේ දඹුල්ල කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේ රිද්මය බිඳ හෙළමින්.

ලකුණු 18ක් ලබා සිටි දික්වැල්ල ද දැවී ගියේ මහීෂ් තීක්ෂණගේ පන්දුවකට යි.

ඉන් අනතුරුව දඹුල්ල කණ්ඩායමේ බිඳ වැටීම ආරම්භ වූවා.

සඳුන් වීරක්කොඩි ලකුණූ 12කට දැවී ගිය අතර පසුගිය තරගයේ දී දස්කම් දැක්වූ ජනිත් ලියනගේට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණ යි.

නජිබුල්ලා සාඩ්‍රාන් ලකුණු 21ක් ලබා ගත්තා.

රමේෂ් මෙන්ඩිස් හට එකදු ලකුණක් හෝ ලබා ගැනීමට යාපනය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ලහිරු සමරකෝල් ලකුණු 08කටත්, මර්චන්ට් ඩි ලැන්ග් ලකුණු 09කටත්, ඉම්රාන් තහීර් ලකුණු 06කටත් දැවී ගියා.

සිය කණ්ඩායමේ සියළු දෙනා අඩු ලකුණු ගණනකට මෙලෙස දැවී යද්දී චාමික කරුණාරත්න පමණක් තරගයේ වගකීම සිතට ගෙන ක්‍රීඩා කරන අයුරු දක්නට ලැබුණා.

කෙසේ වෙතත් තරගය ජයග්‍රහණය කරා එසවීමට උත්සහ දැරූ චාමික සමග ලකුණු සබඳතාවක් ගොඩනගමින් ඔහුට සහයවන්නට කිසිවෙකුට හැකි වූයේ නැහැ.

නියමිත පන්දු වාර 20 නිමාවන විට චාමික කරුණාරත්න නොදැවී ලකුණූ 75ක් ලබා සිටියා.

ඒ සඳහා ඔහුට ගත වූයේ පන්දු 47ක් පමණ යි.

හයේ පහර 02ක් සහ හතරේ පහර 10ක් ඔහු සිය ඉනිම තුළ වාර්තා කළා.

එමෙන්ම ඔහු එලෙස වාර්තා කළේ සිය පළමු 20 විස්ස අර්ධ ශතකය යි.

පන්දුවාර 20 නිමාවන විට කඩුළු 09ක් දැවී දඹුල්ල කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණූ 187ක් පමණ යි.

ඒ අනුව LPL තරගාවලියෙන් අවසාන මොහොතේ ඉවත් වීමට දඹුල්ල කණ්ඩායමට සිදු වූවා.

තරගයේ වීරයා බවට පත් වූයේ අවිශ්ක ප්‍රනාන්දු යි.

අවසාන මහා සටන

මෙවර LPL තරගාවලියේ අවසාන මහා තරගය අද (23) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.

ඒ ගාල්ල (ගෝල් ග්ලැඩියේටර්ස්) කණ්ඩායම සහ යාපනය (ජැෆ්නා කිංස්) කණ්ඩායම අතර යි.

පසුගියවර LPL තරගාවලියේ ද අවසාන මහා තරගය පැවැත්වුණේ ගාල්ල සහ යාපනය කණ්ඩායම් අතර වීම විශේෂත්වයක්.

එවර ශූරතාව දිනාගත්තේ යාපනය කණ්ඩායම විසින්.

කෙසේ වෙතත් මෙවර තරගාවලියේ දී යාපනය සහ ගාල්ල කණ්ඩායම් අතර පැවැත්වූ තරග සලකා බලන විට ගාල්ල කණ්ඩායම ප්‍රබල ස්ථානයක සිටින බව ද කිව යුතු යි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 December 2021 06:06