April 30, 2024

LPL: ගියවර ශූරයෝ, අනුශූරයන් ඉදිරියේ පරාජය වෙයි!

December 05, 2021

2021 LPL තරගාවලියේ පළමු තරගය මීට මොහොතකට පෙර අවසන් වූවා.

ඒ යාපනය (ජැෆ්නා කිංස්) කණ්ඩායම සහ ගාල්ල (ගෝල් ග්ලැඩියේටර්ස්) කණ්ඩායම අතර යි.

කාසියේ වාසිය දිනාගත් යාපනය කණ්ඩායමේ නායක තිසර පෙරේරාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම කඩුළු 07ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 164ක්.

ගාලු ඉනිමේ දී නායක භානුක රාජපක්ෂගේ පිතිකරණය විශේෂයෙන් කැපී පෙනුනා.

පන්දු 31ක් තුළ ඔහු රැස් කළ ලකුණු ගණන 56ක්.

එය මෙම තරගාවලියේ පළමු අර්ධ ශතකය ද වූ අතර භානුකගේ ඉනිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 06ක් අන්තර්ගත වූවා.

සමිට් පටෙල් ද ගාලු ඉනිමට විශේෂ දායකත්වයක් දුන් අතර ඔහු රැස් කළ ලකුණු ගණන 42ක්.

ඔවුන් දෙදෙනා හැරුණු කොට අනෙක් ක්‍රීඩකයින් කිසියෙකුට හෝ ගාලු ඉනිම සඳහා සැළකිය යුතු දායකත්වයක් දීමට නොහැකි වූවා.

ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක ද ගාලු කණ්ඩායම නියෝජනය කරන අතර ඔවුන් දෙදෙනා වගකීම් විරහිත ලෙස දැවී ගියේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට සුපුරුදු මතක යළි සිහිගන්වමින්.

ගුණතිලක ලබා ගත්තේ ලකුණු 08ක් පමණක් වන අතර මෙන්ඩිස් ලකුණු 16කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ජේඩන් සීල්ස් කඩුළු 03ක් බිඳ හෙලූ අතර වනිඳු හසරංග දවා ගත් කඩුළු ගණන 02ක්.

සුරංග ලක්මාල් සහ මහීෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින් බිඳ හෙළුවා.

ඒ අනුව තරගය ජය ගැනීමට යාපනය කණ්ඩායමට ලැබී තිබූ ඉලක්කය ලකුණු 165ක්.

මෙවර තරගාවලියට සහභාගීවන ඉතා ශක්තිමත් කණ්ඩායමක් ලෙස නම් දරා සිටින කණ්ඩායමක් ලෙසත්, ගියවර තරගාවලිය ජයගත් කණ්ඩායම ලෙසත් යාපනය කණ්ඩායමට එය ඉතා පහසු ඉලක්කයක් බව පෙනුනත් සියල්ල කණපිට හැරවීමට ගාලු පන්දු යවන්නන් සමත් වුණා.

යාපනයේ පළමු කඩුල්ල දැවී ගියේ  මුලු ලකුණු ගණන 28ක් වෙද්දියි.

උපුල් තරංග එලෙස දැවී යාමෙන් ආරම්භ වූ යාපනය කණ්ඩායමේ කඩුළු පෙරහැර නතර කිරීමට කිසිවෙකු සමත් වූයේ නැහැ.

තරමක හෝ සබඳතාවක් ගොඩ නැගීමට හැකි වූයේ වහාබ් රියාස්ට සහ සුරංග ලක්මාල්ට පමණ යි.

එම ලකුණු සබඳතාව 33ක් වුණා.

යාපනය ඉනිමෙහි වැඩිම ලකුණූ ලාභියා වූ වහාබ් රියාස් ලකුණු 27ක් රැස් කළා.

නායක තිසර පෙරේරා සහ වනිඳු හසරංග පිළිබඳව බොහෝ දෙනා බලාපොරොත්තු තබා තිබුණත් තිසර ලකුණු 11කට දැවී යද්දී හසරංග දැවී ගියේ ලකුණූ 0කට යි.

19 වැනි පන්දුවාරයේ 04වැනි පන්දුවේ දී යාපනය කණ්ඩායමේ අවසන් කඩුල්ල ද දැවී ගියේ ගියවර අනුශූරයන් වූ ගාල්ල කණ්ඩායමට මෙවර LPL තරගාවලියේ පළමු තරගයේ ජය හිමිකර දෙමින්.

අවසන් කඩුල්ල එලෙස දැවී යන විට යාපනය කණ්ඩායම ලබා සිටියේ ලකුණු 110ක් පමණ යි.

ඒ අනුව ගාල්ල (ගෝල් ග්ලැඩියේටර්ස්) කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ ලකුණූ 54කින්.

පන්දු යැවීමේ දී සමිට් පටෙල් කඩුළු 03ක් ලබා ගත්තා.

මොහොමඩ් හෆීස් සහ පුළින තරංග කඩුළු දෙක බැගින් ද නුවන් තුෂාර, නූර් අහ්මඩ් සහ ලහිරු මදුසංක එක් කඩුල්ල බැගින් ද බිඳ හෙලුවා.

තරගයේ වීරයා වූයේ අද තරගයේ දී පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද දස්කම් දැක්වූ සමිට් පටෙල්.

මීලඟ තරගය හෙට සවස 3.00ට පැවැත්වීමට නියමිත යි.

ඒ දඹුල්ල ජයන්ට්ස් සහ කැන්ඩි වොරියර්ස් කණ්ඩායම් අතර යි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 05 December 2021 23:19