April 30, 2024

LPL: පළමු තරගය ඇරඹෙයි!

December 05, 2021

“ලංකා ප්‍රිමියර් ලීග්” හෙවත් LPL තරගාවලියේ දෙවැනි අදියර, එසේත් නොමැති නම් 2021 අදියර අද (05) ආරම්භ වූවා.

තරගාවලිය සඳහා කණ්ඩායම් 05ක් සහභාගිවන අතර ජැෆ්නා කිංස්, ගෝල් ග්ලැඩියේටර්ස්, කලම්බෝ කිංස්, දඹුල්ල ජයන්ට්ස් සහ කැන්ඩි වොරියර්ස් මෙම තරගයට සහභාගිවන කණ්ඩායම් වනවා.

තරගාවලියේ සමාරම්භක උළෙල අද සවස 06ට පැවැත්වුණා.

අද තරගය

මෙවර තරගාවලියේ පළමු තරගය තවත් විනාඩි කිහිපයකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ පසුගිය වර LPL කුසලානය ජයග්‍රහණය කළ යාපනය කණ්ඩායම (ජැෆ්නා කිංස්) සහ ගිය වර අනුශූරයන් වූ ගාල්ල කණ්ඩායම (ගෝල් ග්ලැඩියේටර්ස්) අතර යි.

කාසියේ වාසිය

අද (05) තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ යාපනය නායක තිසර පෙරේරා විසින්.

ඔහු ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව ගාල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් පිටියට පිවිසීමට නියමිත යි.

ජැෆ්නා කිංස්

ගිය වර මෙන්ම මෙවර ද යාපනය කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ තිසර පෙරේරා විසින්.

එමෙන්ම ලොව අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නා වන වනිඳු හසරංග ද යාපනය කණ්ඩායම නියෝජනය කරනවා.

එය යාපනය සතු ප්‍රධානම තුරුම්පුව වනු ඇති.

පසුගිය දා නිමා වූ විස්සයි 20 ලෝක කුසලානයේ දී මෙන්ම දින කිහිපයකට පෙර නිමා වූ අබුඩාබි T10 තරගාවලියේ ද ඔහු ඉහළ දස්කම් දැක්වූවා.

පසුගිය වසරේ LPL තරගාවලියේ තරගයේ වීරයා බවට පත් වූයේ ද හසරංග යි.

මේ අතර වමත් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ද යාපනය කණ්ඩායම නියෝජනය කරනවා.

එමෙන්ම විදෙස් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ද යාපනය කණ්ඩායමට සිය දායකත්වය ලබා දෙනවා.

දකුණු අප්‍රිකානු ප්‍රබල ක්‍රීඩක පෆ් ඩු ප්ලෙසි ද මෙවර යාපනය කණ්ඩායම නියෝජනය කළත් මේ දිනවල පැතිර යන ඔමි‍ක්‍රෝන් කොවිඩ් 19 ප්‍රභේදය හමුවේ දකුණු අප්‍රිකාවට පනවා ඇති සංචාරක සීමා හමුවේ ඔහුට තරගාවලියට පැමිණීම අපහසු වී තිබෙනවා.

පාකිස්තානයේ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් වන වහාබ් රියාස්, ෂොයිබ් මලික් සහ උස්මාන් ෂින්වාරි ද යාපනය කණ්ඩායම නියෝජනය කරනවා.

ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩක රහ්මතුල්ලා ගුර්බාස් ද නියෝජනය කරන්නේ යාපනය කණ්ඩායම යි.

යාපනය කණ්ඩායමට එක්වන ක්‍රීඩකයන් මෙසේ යි..

දේශීය ක්‍රීඩකයින් – තිසර පෙරේරා (නායක), වනිඳු හසරංග, අවිශ්ක ප්‍රනාන්දු, උපුල් තරංග, චතුරංග ද සිල්වා, සුරංග ලක්මාල්, මහිෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, අශේන් බණ්ඩාර, චාමික ගුණසේකර, සම්මු අශාන්, විජයකාන්ත් වියස්කාන්ත්, තෙවේන්දිරම් දිනෝෂන්, අශාන් රන්දික, රත්නරජා තනුරදන්, ක්‍රිෂාන් සංජුල. 

විදෙස් ක්‍රීඩකයින් – Shoaib Malik (පාකිස්තානය), Wahab Riaz (පාකිස්තානය), Usman Shinwari (පාකිස්තානය), Rahmanullah Gurbaz (ඇෆ්ගනිස්තානය), Jayden Seales (බටහිර ඉන්දීය කොදෙව්)

ගෝල් ග්ලැඩියේටර්ස්

පසුගිය තරගාවලියේ දී අනුශූරතාවය දිනාගත් ගාල්ල කණ්ඩායමට නායකත්වය දෙන්නේ භානුක රාජපක්ෂ යි.

මෙවර තරගාවලියේ දී විශේෂ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම කණ්ඩායමට එකතු කර ගන්නට ගාලු කණ්ඩායම කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන, පාකිස්තාන පිතිකරු මොහොමඩ් හෆීස්, සහ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සමිට් පටෙල් ද නියෝජනය කරන්නේ ගාල්ල කණ්ඩායම යි.

මේ අතර තරග තහනමකට ලක්ව සිටි දනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් ද ගාල්ල කණ්ඩායම නියෝජනය කිරීම විශේෂත්වයක්.

ඔවුන් දෙදෙනා යළි තරගකාරී ක්‍රිකට් පිටියකට පිවිසෙන්නේ මාස 06කට පමණ පසුව යි.

සිය කණ්ඩායමෙන් යළි කැඳවීම් ලැබී ඇති හෙයින් සර්ෆ්‍රාස් අහ්මඩ් මෙවර තරගාවලියට සහභාගී නොවන අතර යාපනය කණ්ඩායමට තෝරාගත් පෆ් ඩු ප්ලෙසිට මෙන්ම දකුණු අප්‍රිකානු ක්‍රීඩක ටබ්‍රයිල් ශම්සි හට ද මෙවර තරගාවලියට එක් වන්නට ඉඩ නොලැබෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන්.

පසුගිය LPL අදියරේ දී විශිෂ්ට දස්කම් පෙන්වූ ධනංජය ලක්ෂාන් මෙවර ද  ගාල්ල කණ්ඩායම සවිමත් කරන අතර ඇෆ්ගනිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක නූර් අහ්මඩ් ද ගාල්ල කණ්ඩායම නියෝජනය කරනවා.

ඕස්ට්‍රේලියානු “බිග් බෑෂ්” තරගාවලියේ මෙන්ම පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ද සුපිරි දස්කම් දැක්වූ  බෙන් ඩන්ක් ද ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනවා.

ගාල්ල කණ්ඩායමට එක්වන ක්‍රීඩකයන් මෙසේ යි..

දේශීය ක්‍රීඩකයින් – භානුක රාජපක්ෂ (නායක), ඉසුරු උදාන, දනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ධනංජය ලක්ෂාන්, සුමින්ද ලක්ෂාන්, පුලින තරංග, ලහිරු මදුෂංක, මොහොමඩ් ශමාස්, අශේන් ඩැනියෙල්, කෙවින් කොත්තිගොඩ, නුවන් තුෂාර, ඇන්ජෙලෝ ජයසිංහ, ප්‍රමෝද් මදුශාන්.

විදෙස් ක්‍රීඩකයින් – Mohammad Hafeez (පාකිස්තානය), Mohammad Amir (පාකිස්තානය), Anwar Ali (පාකිස්තානය), Samit Patel (එංගලන්තය), Ben Dunk (ඕස්ට්‍රේලියාව), Noor Ahmed (ඇෆ්ගනිස්තානය)

Rate this item
(0 votes)
Last modified on Sunday, 05 December 2021 21:29